කුරුණෑගලට දුන් ඉන්දීය නිවාස විවෘත වේ

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස පහසුකම් සැලසීමේ ඉන්දීය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කුරුණෑගල පත්තිනිගම ආදර්ශ ගම්මානය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන ඇමති සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ජුනි 04 වැනිදා විවෘත විය.

එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව දක්වන අඛණ්ඩ කැපවීම අවධාරණය කරමින් පැවසුවේ රටපුරා සිටින ප්‍රජාවන්ගේ සාර්ව සංවර්ධනයට සහාය වීම සඳහා ඉන්දියාව සැමවිටම ස්ථාවර හවුල්කරුවකු ලෙස රැඳී සිටින බවයි.

එක් දිස්ත්‍රික්කයකට නිවාස 24 කින් සමන්විත ආදර්ශ ගම්මානය බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා නිවාස 600ක් ඉදිකිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ ඉන්දියාව පහසුකම් සලසන අතර එය 2017 වසරේ දෙරට අත්සන් තබන ලද ගිවිසුමක් අනුව සිදුකෙරේ.

එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට මඩකලපුව, වව්නියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොණරාගල, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, රත්නපුරය හා අම්පාර යන දිස්ත්‍රික්ක 17 හි නිවාස ඉදිකර තිබේ.

Author

Related Posts