10 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට වරදකරු වූ විහාරාධිපති හිමිනමකට වසර 24ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීමට අධිකරණය අද (05) තීන්දු කර තිබේ.
මෙසේ බරපතළ සිරදඬුවම් සහ දඩ නියම වූයේ ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ශ්‍රී සීවලි චෛත්‍යාරාම විහාරාධිපති පොල්ගම්පොළ ධර්මාලෝක නමැති 40 හැවිරිදි හිමිනමකටය. මෙම නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවලදී විත්තිකාර විහාරාධිපති හිමිනම දිගින් දිගටම අධිකරණය මගහරිමින්, ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිට ඇති බව ද අනාවරණය වේ.
ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු රුවන් ධම්මික දිසානායක මහතා විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
සිරදඬුවමට අමතරව විත්තිකාර හිමිනම වෙත අධිකරණය විසින් තවත් දඬුවම් කිහිපයක්ම නියම කරන ලදී. ඒ අනුව, ඉදිරිපත් වූ චෝදනා දෙකට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින්, සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් වින්දිත දරුවාට ගෙවන ලෙස නියෝග කෙරුණු අතර, එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාර හිමිනමට තවත් වසර දෙකක සිරදඬුවමක් හිමිවන බව තීන්දුවේ සඳහන් වේ.
