රංග නිශාන්තගේ ‘බල නහර‘ කැපුණා කීම වැරදියි! ඡායාරූවල තිබුණු සමේ කැළැල් මරණයෙන් පසු ඇති වූ ඒවා! – අධිකරණ වෛද්‍ය නිලධාරීන් උසාවියේ කී කතාව මෙන්න

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ඩොලර් මිලියන 2.5ක් අනීතිකව ප්‍රේෂණය වීමක් සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි රංග නිෂාන්ත රාජපක්ෂ මහතාගේ කතාබහට ලක්ව තිබූ මරණය පිළිබඳව විමර්ශන සාක්ෂි විභාගය ඊයේ (03) පැවැත්වූයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේදීය.

මියගිය රංග මහතාගේ බිරිඳ, දියණිය ඇතුළු ඥාතීන් හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල යන මහත්වරුන්ගේ සාක්ෂි විමසීම ඉකුත් නඩුවාරයේදී ලබාගත් අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියමය පරිදි පත්කර තිබූ සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය කමිටුවේ සභාපතිවරයා ඇතුළු විමර්ශකයින්ගේ සාක්ෂි විභාගය ඊයේ පැවැත්විණි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මුලින්ම සාක්ෂි කූඩුවට කැඳවූයේ සිව් පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටු ප්‍රධානී, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතාවය. සාක්ෂි විභාගය එතැන් සිට ඇරඹිණි.

එහිදී ප්‍රශ්න කිරීම් සිදුකෙරිණි.

ජ්‍යෙ.නි.පො.ප. අජිත් රෝහණ: සාක්ෂිකරු සේවය කරන්නෙ කොහෙද?

අ.වෛ.නි. ඉලංගරත්න: කුරුණෑගල ශික්ෂණ රෝහලේ.

ජ්‍යෙ.නි.පො.ප. අජිත් රෝහණ: කොයි කාලෙද පත්වීම් ලබන්නෙ?

අ.වෛ.නි. ඉලංගරත්න: 2004 ඉඳලා මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

ජ්‍යෙ.නි.පො.ප. අජිත් රෝහණ: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තමන් ඇතුළු කණ්ඩායමක් යෙදවූ විශේෂ රාජකාරිය මොකක්ද?

අ.වෛ.නි. ඉලංගරත්න: ඔව්, මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකුගේ මරණයක් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න.

ජ්‍යෙ.නි.පො.ප. අජිත් රෝහණ: ඔබ හැර ඒ කමිටුවේ හිටියේ කවුද?

අ.වෛ.නි. ඉලංගරත්න: කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන, අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේමසිංහ හා නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය ගාමිණී දිසානායක යන අය ඒ කමිටුව නියෝජනය කළා.

ජ්‍යෙ.නි.පො.ප. අජිත් රෝහණ: ඇයි එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ?

අ.වෛ.නි. ඉලංගරත්න: කුලියාපිටිය ගරු මහේස්ත්‍රාත්තුමා එම දේහය පිළිබඳ පරීක්ෂණයක් කරන්න නියෝග කළා. ඒ අනුවයි පරීක්ෂණ සිදුකළේ.

ජ්‍යෙ.නි.පො.ප. අජිත් රෝහණ: ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට එව්වෙ කොහොමද?

අ.වෛ.නි. ඉලංගරත්න: මහේස්ත්‍රාත්තුමාගෙ නියමයට අනුව මැයි මස 1 දා අදාළ සිද්ධිය වූ ප්‍රදේශයට ගොස් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු, එදිනම සවස 2ට පමණ පටන් සවස 6 පමණ වනතෙක් මෙම පරීක්ෂණ සිදු කළා. සෞඛ්‍ය වෛද්‍ය පෝරම 42 යටතේ එහි වාර්තාව නොබෙදුණු තීන්දුවක් ලෙස ඒකමතිකව සිව්දෙනාගේම අත්සනින් යුතුව ගොනුකර තිබෙනවා.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙතෙක් කර ඇති මරණ පරීක්ෂණ ප්‍රමාණය හා සාක්ෂිකරුගේ මෙන්ම සෙසු වෛද්‍ය කණ්ඩායමේ සුදුසුකම් විමසා සිටියේය. සාක්ෂි ලබාදෙමින් වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කියා සිටියේ තමන් හා තම කණ්ඩායම මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා, විදෙස්ගත පුහුණු පවා ලබා ඇති බවයි. තමන් පමණක් පශ්චාත් මරණ පරීක්ෂණ දසදහස ඉක්මවූ ප්‍රමාණයක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව එම මණ්ඩලයේ මතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂිකරුගෙන් විමසීය. ඊට පිළිතුරු ලෙස විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පැවසීය.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි එම පත්කිරීම කරල තිබුණේ. ඒ අනුව අපි සිව් දෙනාම දැඩි විමසිලිමත් භාවයෙන් යුතුව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාර පරිශ්‍රයේදී එම පශ්චාත් මරණ පරීක්ෂණය මැයි මාසෙ 01 දා සිදුකළා.

මුලින්ම අපේ කණ්ඩායම අදාළ සිද්ධිය වූ බව කියන ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් කළා. කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් පිටවෙලා මාදම්පේ පාරෙ ගොස් වමට හැරිල ගිහින් වීරඹුව කියන ගමේ තමයි මේ සිදුවීම වෙලා තිබුණෙ. එහිදී අපි නිවස පරීක්ෂා කළා. මරණකරුට අයත් වත්තේ කෙසෙල් පඳුරක් අසල ලේ ගලාගොස් තිබූ අයුරු දක්නට ලැබුණා. කෙසෙල් පතුරුලවල පවා ඒ ලේ ගෑවිලා තිබුණා. එම ස්ථානයේ සිට මරණකරුගේ නිවස දෙසට වන්නට මීටර් 50ක් පමණ එනවිට තවත් ලේ පැල්ලම් කීපයක් නිරීක්ෂණය වුණා. ලේ බිඳු ලෙසින්ද ඉහිරී තිබෙනු දක්නට ලැබුණා. ඒ සියලු නිරීක්ෂණ සටහන් කරගෙන ශික්ෂණ රෝහලට පැමිණ මෘත ශරීරය විච්ඡේදනයට පියවර ගත්තා. ඊට පෙරාතුව මෘත ශරීරය බිරිඳ ඇතුළු සමීපතමයින්ට පෙන්වා සිටි අතර ඔවුන් එය තම ඥාතියාගේ බව හඳුනාගත්තා.

විච්ඡේදනයට මත්තෙන් අපි දේහය නිරීක්ෂණය කළා. මරණකරුගේ වම් අතෙහි වැලමිට ඇතුල්පැත්තේ කැපුම් තුවාලයක් හා දෙපාවල වළලුකරට මදක් ඉහළින් කැපුම් තුවාල දෙකක් නිරීක්ෂණය වුණා. ඊට අමතරව අව් රශ්මිය හේතුවෙන් සම ඉරීගොස් තිබූ ස්ථාන කීපයක් නිරීක්ෂණය වුණා.”

එහිදී වෛද්‍යවරයා අතෙහි වූ තුවාලයේ සමීප ඡායාරූපයක් අධිකරණයේ අවධානයට යොමුකරමින් ඒ පිළිබඳ මෙලෙස සාක්ෂි ලබා දුන්නේය.

“අතේ ගැඹුරු කැපුම ආසන්නයේ තවත් සියුම් කැපුම් තුවාල දෙකක් නිරීක්ෂණය වුණා. මේවා අපි තීරණය කළේ පෙරහුරු කැපුම් (hesitation cuts) ලෙසයි. ඒ අනුව අපි කළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවූයේ එම කැපුම හේතුවෙන් රුධිර වාහිනී හා පෘෂ්ඨීය ශිරාවක් කැපී ඇති බවයි.”

එහිදී එකී පෙරහුරු තුවාල පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා යළිත් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබාදුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පැවසීය.

“අන් අයෙකු සිදුකරන කැපුමකදී මෙන් නොව, තමන් විසින් කපාගැනීමකදී මෙලෙසින් පෙරහුරු කැපුම් සිදුකරගන්නා අවස්ථා තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. තමන් විසින්ම කපාගත් බවට තීරණය කළ හැකි හොඳම කාරණයක් තමයි පෙරහුරු කැපුම. පසුව දෙවැනි තුවාලය ලෙසට අපි දකුණු පාදයේ වළලුකරට මිලිමීටර් 105ක් පමණ ඉහළින් යම් ආනතියක් සහිතව තිබූ තුවාලය නිරීක්ෂණය කළා. එය තදින් ඇද කරගත් කැපුමක් ලෙසයි නිරීක්ෂණය වුණේ. ඒ තුවාලය මිලිමීටර් 25 ක් වගේ දිග තිබුණා. එතැනදිත් එම කැපුම හේතුවෙන් පාදයේ සිට හදවතට රුධිරය ගෙනයන ශිරාවක් තමයි කැපිලා තිබුණේ.

වම් පාදයේ තුවාලයේ යම් වෙනසක් තිබුණා. එය ඇදීමකටත් වඩා යම් බරක් යොදා කෙටීමක් වැනි කැපුමක් ලෙසයි නිරීක්ෂණය වුණේ. එහි කැපුම මිලිමීටර් 37ක් පමණ තිබුණා විතරක් නෙවෙයි, එහි ආයාසයක් යොදා තිබීම නිසා ජංගාස්ථියත් සුළු වශයෙන් කැපීමකට ලක්ව තිබුණා. එම තුවාලයත් ඔරලෝසුවේ දහය සහ හතර ඉලක්කම යා කෙරෙන ආකාරයේ රේඛාවක් ඇන්දොතින්, එම ආනතියකින් තමයි සිදුව තිබුණේ. ඒ කැපීමෙනුත් පෘෂ්ඨීය ශිරාව තමයි කැපිලා තිබුණේ.

මෘත ශරීරයෙහි වූ සියලු තුවාල සිදුව ඇත්තේ සාපේක්ෂ කැපුම් මුහුණතක් සහිත ආයුධයකින් විය යුතුයි. මෙම පාදවල තිබූ කැපුම් තුවාල අයෙකුට සිටගෙන සිදු කරගත නොහැකියි.”

එහිදීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රශ්න කරමින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ මෙම කැපුම් තුවාල බාහිර අයෙකු විසින් කළ හැකිද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා කියා සිටියේ මෙසේය.

“මේ මරණකරු හැඳ පැළඳ සිටි සරම, ටී ෂර්ට් එක, යට ඇඳුම්, ඉන පටිය ආදියෙහි කිසිදු ඉරීමක්, කැපීමක් හෝ සිදුරු වීමක් දක්නට තිබුණෙ නෑ. බාහිර පුද්ගලයන් සිදුකළ කැපීම්, කෙටීම් ආදිය අපි නිරීක්‍ෂණය කරලා තියෙනවා. මරණයට පත් කරන්නට පහසු සංවේදී ස්ථාන වූ බෙල්ල, පපුව ආදී ප්‍රදේශ මඟහැරලා පාදයේ පිටුපස කැපුමක් යෙදීමේ වියහැකිතාවය ඉතාම අල්පයි. සිදුවීමේ ආන්දෝලනාත්මක තත්ත්වය නිසාම ඉතා සියුම් විච්ඡේදනයන් පවා සිදුකර තැලීම් හා පොරබැඳීම් පිළිබඳවත් අපි විමර්ශනය කළත්, එවැන්නක් එහිදී අනාවරණය වුණේ නැහැ. ඒ වගේම මෘදු පටක පවා නිරීක්ෂණයට ලක් කළා. සියලු දේ මඟ නොහැර බැලුවා. අභ්‍යන්තර තුවාල ඇත්දැයි ද විමසා බැලුවා. ඇතැම් ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට පවා යොමු කළා. එහි වාර්තාවක් මේ වන විට ලැබී තිබෙනවා. එහි, මරණකරු කිසිදු මත්ද්‍රව්‍යයක් පානය කර නොමැති බවත්, ක්ලෝරොෆෝම් ආග්‍රහණයක් සිදුව නොමැති බවත් සඳහන්ව තිබුණා.”

ඊට බාධා කරමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ක්ලෝරොෆෝම් භාවිතා කරන්නේ කුමකට දැයි විමසීය. තමන්ගේ පරීක්ෂණවලදී කිසි දිනක ක්ලෝරොෆෝම් රසායනිකය ආග්‍රහණය කොට නිර්වින්දනය කරවා කළ මරණයක් දැක නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය. යළිත් සාක්ෂි ලබාදුන් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා මෙසේද පැවසීය.

“අපි පශ්චාත් මරණ පරීක්ෂණය සවස හය වගේ වන විට අවසන් කළා. විමර්ශන නිලධාරීන් පස්වරු හයයි තිහට වගේ වන විට අපිට පිහියක් ගෙනත් දුන්නා. ඒ පිහියෙන් මෙම කැපීම සිදුව ඇති බවට විශ්වාස කළ හැකියි.”

එහිදී අධිකරණ භාරයේ ඇති මරණකරු හැඳ පැළඳ සිටි ඇඳුම් පැළඳුම් හා පිහිය අධිකරණ භාෂා පරිවර්තක ජයතිලක දිසානායක මහතා විසින් විවෘත කර පෙන්වා සිටි අතර, වෛද්‍යවරයා එම ඇඳුම් හා පිහිය හඳුනාගත්තේය.

යළිත් පැහැදිලි කර ගැනීම ආරම්භ කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසා සිටියේ එවන් කැපුම් තුනක් සහිත අයෙකුට ඇවිදීමට හැකියාවක් ඇත්ද යන්නයි. ඊට ද පිළිතුර ලබා දුන් වෛද්‍යවරයා මෙසේ පැවසීය.

“සමට යටින් කැපුණු පටක සාමාන්‍ය පරිදි පීඩනය අඩු තුවාල. සමස්තය ගත්තහම මධ්‍යම ප්‍රමාණයේ විෂ්කම්භයක් ඇති ශිරා තුනෙන්ම රුධිරය වහනය වන ප්‍රමාණය ලොකුයි. ඒත් එය ඇවිදගෙන යන්න කිසිම ගැටළුවක් නෑ.”

ගෙල වැළලා ගැනීම්, වස පානය ආදී ක්‍රම නොමැතිව, මියයාම සඳහා මෙලෙස අසීරු ක්‍රමයක් තෝරාගන්නට හේතුව මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුර ලබා දුන් වෛද්‍යවරයා පැවසුවේ ඒ සඳහා මානසික පශ්චාත් පරීක්ෂණයක් (Psychological Autopsy) සිදු කළ යුතු බවයි.

මෙහිදී අදාළ සිද්ධියට සමාජ මාධ්‍ය ඔස්සේ වෙන වෙන අර්ථකථන ලබාදෙමින් ඇති බවත්, “බල නහරය” කපා ගැනීම සම්බන්ධව වෛද්‍ය මතය පිළිබඳව අධිකරණයට පහදා දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂිකරුගෙන් ඉල්ලා සිටි අතර, ඊට පිළිතුරු දුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පැවසීය.

“අපේ බටහිර වෛද්‍ය විද්‍යාවේ කොතැනකවත් ‘බල නහරය’ කියලා ශරීර කොටසක් නැහැ. සමාජයේ පැතිර යන මේ බලන හර කතාව නිසාම අපිත් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කළා. ආයුර්වේද වෛද්‍ය අමිල කොස්තා මහතාගෙන් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.එස්. සමරකෝන් මහතා සම්බන්ධ කරගෙන අපි බල නහරය පිළිබඳව ආයුර්වේද මතය විමසා සිටියා. එහිදීම මහාචාර්ය සමරකෝන් මහතා පිටු අටකින් සමන්විත ලේඛනයක් එවා තිබුණා. ඒ කියන බලන හරය, බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව රුධිරය ගමන් කරන නහරයක් නෙවෙයි; එය කණ්ඩරාවක්. බල නහර තුනක් කැපුණා කියලයි සමාජයේ යන්නේ. ඒත් ඒ කියන කණ්ඩරා නොහොත් බලන හර දෙකක් විතරයි මිනිස් ශරීරයේ පිහිටා තියෙන්නෙ. ඒක කැපුණොතින් වෙන්න පුළුවන් නරකම දේ තමයි ඇවිදින්න බැරිවෙන එක. ඒත් මියගිය රංග නිශාන්ත මහතාගේ කණ්ඩරා කැපිලා තිබුණේ නැහැ.

තවත් තුවාල තිබුණා කියලත් සමාජ මාධ්‍ය ජාලාවලින් පැතිර යනවා අපි දැක්කා. ඒ තුවාල මරණින් පසුව ඇතිවූ තුවාල. සිදුවීමක් වෙලා තිබුණු දිනයේ අව් රශ්මිය උදේ 8.00 වන විට සෙල්සියස් අංශක 28.45ක් ලෙස සටහන් වෙලා තිබුණා. ඒ වාගේම පෙරවරු 11.30 වන විට එම රශ්මිය සෙල්සියස් අංශක 32.6ක් වෙලා තිබුණා. මේ දත්ත අපි නිවැරදිව ලබාගෙන තිබුණා. මියගිය අයෙකුගේ සම ඉරෙන්නට, පැලෙන්නට ඒ රස්නය බලපානවා. මරණකරුගේ ආමාශගතව ආමාශ තරලය මිලි ලීටර් 10ක පමණ ප්‍රමාණයක් හැරුණු කොට අන් කිසිවක් තිබුණේ නැහැ.”

විශේෂඥ වෛද්‍යවරයාගේ සාක්ෂි ලබා ගැනීම අවසන් කරමින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විමසූයේ අධිකරණයට වැදගත්ම කොටස වන මරණයට හේතුවයි. ඊට අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“ඔක්සිජන් නොමැතිව කාටවත් ජීවත් වෙන්න බැහැ. රුධිර වහනය නිසා මොළේට ඔක්සිජන් යන්නේ නැහැ. එම නිසා සෛලවලට ඔක්සිජන් අරන් යන්නත් බැහැ. ඒ අනුව මොළය, හදවත, වකුගඩු, අක්මාව පිළිවෙලින් අකර්මණ්‍ය වෙනවා. එම නිසා මේක ඒ තත්ත්වය නිසා ඇති වුණු ස්වාභාවික මරණයක්. වම් අත හා දෙපාවල කැපුම් තුවාල වලින් රුධිර වහනය නිසා ඇති වූ කම්පන තත්ත්වයක් උඩ සිදුවූ මරණයක් බව කණ්ඩායම තීරණය කළා.”

යැයි පවසමින් ඉන් ඔබ්බට මේ පිළිබඳව පැවසීමට කිසිවක් නොමැති බවද හෙතෙම පැවසීය.

ඉන් අනතුරුව සාක්ෂි ලබාදුන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා, තමා වසර විසි එකකට වඩා කාලයක් අපරාධ පරීක්ෂණ කර ඇති බව කියමින් ස්ථානීය පරීක්ෂණය පිළිබඳව සාක්ෂි ලබා දුන්නේය.

තවද මෙහිදී පොලිස් නිල සුනඛ අංශයේ සැරයන් සුනිල් මලිගරත්න මහතාගෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සාක්ෂි ලබාගත් අතර, එහිදී මරණකරුගේ නිවසේ කෙසෙල් පඳුර අසල තිබී සොයා ගත් පිහිය නිල සුනඛ flash (1449) ට ඉව කරවූ බවත්, එය ඉව කළ සුනඛයා එම නිවසේ මුළුතැන්ගෙට ගොස් වාඩි වූ බවත් ඔහු සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ඉන්පසු සාක්ෂි විභාගය මෙහෙයවූ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණයේ අවධානය අපරාධ නඩු විධිවිධාන පනතේ තිස් වැනි පරිච්ඡේදය කෙරෙහි යොමු කොට, ඒ අනුව නියෝග ලබාදෙන ලෙස අයැද සිටියේය.

සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා, නියෝගය සඳහා මෙම නඩුව මේ මස 12 වැනිදා යළි කැඳවන්නැයි නියම කළේය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සහ පොලිස් නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජගත් රවීන්ද්‍ර යන මහත්වරුන් සාක්ෂි විභාගය මෙහෙයවූ අතර, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක කරුණාසිංහ මහතා ඇතුළු සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් ඉදිරි නඩු මෙහෙයුම් සඳහා ඉගෙනුම් ආධාරකයක් ලෙසින් නීතිඥ අජිත් රෝහණ මහතා මෙහෙයවූ මෙම නඩුව නිරීක්‍ෂණයට පැමිණ සිටීම විශේෂත්වයකි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading