හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ පෞද්ගලික වැඩිහිටි නිවාසයක ඊයේ (03) සවස හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර සිටියි.
ගින්න හටගන්නා අවස්ථාවේදී මෙම මධ්‍යස්ථානය තුළ නේවාසිකයින් 72 කු රැඳී සිට ඇති අතර, ඉන් 10 දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර සෙසු මරණ සිරුරු සෙවීමේ මෙහෙයුම් අතරතුර සොයාගෙන තිබේ. තුවාල ලැබූ තවත් පිරිසක් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, අදාළ “මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක විධිවිධාන කඩකිරීම් හෝ නොසැලකිලිමත්භාවයක් සිදුව ඇත්දැයි සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පරීක්ෂණ පවත්වන අතර, සැකකාර අධ්යක්ෂවරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අඟුරුවාතොට, ගල්පාත ප්‍රදේශයේ පිහිටි මෙම “මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල” මධ්‍යස්ථානය වසර ගණනාවක සිට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයකි. මෙය හුදෙක් වැඩිහිටි නිවාසයක් පමණක් නොව, මානසික සෞඛ්‍ය ගැටලු සහ විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටි පුද්ගලයන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධව පැවතුණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තනිවුණු සහ විශේෂ අවධානයක් අවශ්‍ය වූ වැඩිහිටියන් විශාල පිරිසක් කාලාන්තරයක් තිස්සේ මෙම ස්ථානයේ නේවාසිකව රැකවරණය ලබා ඇත. කෙසේ වෙතත්, මෙවැනි විශාල පිරිසක් රඳවා සිටි ගොඩනැඟිල්ලක හදිසි ගිනි නිවන පද්ධති සහ හදිසි පිටවීමේ දොරටු නිසි පරිදි නොතිබීම හේතුවෙන් මෙම අනතුර මේ තරම් දරුණු වන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරයි.
ගින්න හටගත් වහාම ප්‍රදේශවාසීන්, පොලිසිය සහ ගිනි නිවන ඒකක එක්ව දැවැන්ත මෙහෙයුමකින් පසුව නේවාසිකයින් 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් විය. අවතැන් වූ එම පිරිස මේ වන විට බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් කරවා ඇති අතර, ඔවුන්ට අවශ්‍ය සහන සේවා සැපයීමට පියවර ගෙන ඇත.
