මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඉන්දීය මහා පරිමාණ ටෝලර් යාත්‍රා වසර ගණනාවක් තිස්සේ මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම සහ සාගර පද්ධතිය විනාශ කිරීම හමුවේ වත්මන් රජය හීලෑ සහ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ චෝදනා කරයි.
ඔහු මේ බව සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
උතුරු මුහුද ඉස්සන් දැල්ලන් සහ කකුලුවන් බහුල ප්‍රදේශයක්. ඒකට පිටරටවල් වල ලොකු ඉල්ලුමක් තියෙන නිසාම ඩොලර් මැවෙන තැනක් මේ. තව කුම්බලාවා – සාලයා – තෝරා – ටූනා – පරා – ගල්මාලුත් ඉන්න මත්ස්‍ය සම්පත ඉහළම ඝණත්වයක් තියෙන තැනක් තමයි උතුරු මුහුද.
වසන්ත මුදලිගේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උතුරු මුහුදු කලාපය මෙලෙස මත්ස්‍ය ගහනයෙන් අතිශය පොහොසත් වීමට ප්‍රධාන පාරිසරික හේතු කිහිපයක් බලපා ඇති බවයි. විශේෂයෙන්ම උතුරු මුහුදේ විශාල කොටසක් නොගැඹුරු ස්වභාවයක් ගන්නා බැවින්, හිරු එළිය පහසුවෙන් සාගර පතුලටම ළඟා වන අතර එය මත්ස්‍ය ආහාර දාමයට අත්‍යවශ්‍ය වන ශාක වර්ධනයට මහෝපකාරී වේ.
එමෙන්ම සාගර පතුලේ පවතින සුවිශේෂී ස්වභාවය නිසා පෝෂක ද්‍රව්‍ය රැස්වී කුඩා සාගර ජීවීන් බහුලව වර්ධනය වන අතර, එය මසුන් විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත. මීට අමතරව එම කලාපයේ පිහිටි මඩ තට්ටු සහ මුහුදු තෘණ බිම්, විවිධ මත්ස්‍ය වර්ග මෙන්ම ඉස්සන් සහ කකුළුවන් වැනි වටිනා ජීවීන්ගේ ප්‍රජනන කටයුතු හා මුල් කාලීන වර්ධනය සඳහා ආරක්ෂිත තෝතැන්නක් ලෙස ක්‍රියා කිරීමද මෙම මත්ස්‍ය සම්පතේ ඉහළ ඝනත්වයට හේතු වී තිබේ.
අපේ රටට අනන්‍ය මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඉන්දියානු මහා පරිමාණ ටෝලර් යාත්‍රා වසර ගණනක් ඇවිත් මේ මත්ස්‍ය සම්පත කොල්ල කනවා. එක වතාවකට බොටම් ටෝලර් සිය ගණනක් ඇවිත් බලෙන් තමයි මේ මාලු අල්ලන්නේ. බාධා කරන මෙරට ධීවරයින්ට ගහලා බෝට්ටු පවා කඩපු අවස්ථා තියෙනවා. මෙරට මුහුද ආරක්ෂා කරන බලධාරීන්ට අවශ්‍ය පහසුකම් පවා නෑ මේවා පාලනය කරන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. මෙහෙම අල්ලන්නේ මාලු විතරක් නෙවෙයි. මත්ස්‍ය අභිජනන ස්ථාන, සාගර පත්ල ආදී සියල්ල විනාශ කරනවා බොටම් ටෝලර් වලින්.
මේක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි.! මේක මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් කෙරෙන බලහත්කාරී වැඩක් වගේම රටේ මත්ස්‍ය සම්පත් කොල්ල කෑමක්. ඒ වගේම රටට සිදු වන මූල්‍ය හානියක්.
මෙරට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන මෙයට කඩිනමින් මැදිහත්වීම වෙනුවට හීලෑ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බරපතල ගැටලුකාරී තත්වයක්. ඒ දියාරුකම නිසාම නාගපට්නම් සිට තූත්තුකුඩි දක්වා මහා පරිමාණ ටෝලර් සේරම ලබන සතියේ සිට ආයෙම මෙරට සීමාවට එනවා.
සියලු ධීවරයින් එකතු වී උත්තරයක් හොයන්න වෙනවා.! නැත්නම් හීලෑ වෙලා ඉන්න වෙනවා.!
