අද (ජුනි 04) දින පැවති මහවැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි විය හැක්කේ පළාත් පාලන ආයතනයක් නියෝජනය කරමින් විපක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකුට පමණක් බවට කරන ලද දැනුම් දීමක් හේතුවෙන් විපක්ෂය නියෝජනය කරමින් එම රැස්වීම සඳහා පැමිණි පළාත් පාලන නියෝජිතයෝ ඊට විරෝධය පළකරමින් නැගිට යෑම සිදුවිය.
එම දැනුම් දීම සිදුකරන ලද්දේ මහවැව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිත්වය දරන පුත්තලම් දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජනක වන අතර ඔහු එහිදී දැනුම් දුන්නේ එක් පළාත් පාලන ආයතනයකින් එම රැස්වීමට සහභාගි විය හැක්කේ ආණ්ඩුපක්ෂයෙන් හා විපක්ෂයෙන් නියෝජිතයින් දෙදෙනෙකුට බැගින් බවය.
එසේ තීරණය කර ඇත්තේ කවුදැයි විපක්ෂයේ නියෝජිතයින් ප්‍රශ්න කරද්දී ජාජබ මන්ත්‍රීවරයා එය චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇතැයි සභාවට ප්‍රකාශ කළද, එම චක්‍රලේඛයට අදාළ තොරතුරු ඉදිරිපත් කළේ නැත.
පසුගිය ආණ්ඩු සමයන්වලදී මීට පෙර පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට මේ ආකාරයට සහභාගි විය හැකි ජනතා නියෝජිතයින්ගේ සීමාවන් දමා තිබී නැති අතර ඒවාට එවක විපක්ෂය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ සහභාගි වී ඇත.
