කිසිඳු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන තිබූ සිය පුතාට ඇප ඉල්ලීම සඳහා පොලීසියට ගිය අවස්ථාවේදී තමාවද අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස හිටපු පොලිස් නිලධාරියකු පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
කේඩී නන්දන කුමාර නම් වන හිටපු පොලිස් නිලධාරියා සිය පැමිණිල්ලේ සඳහන් කරන්නේ ඔහු වසර 23ක කාලයක් පොලිස් සේවයේ නිරත වූ අයකු බවත්, ඔහු හා ඔහුගේ පුතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි.
ඔහුගේ පුතා මැයි මස 06 දින සවස 4ට පමණ මිතුරෙකු සමඟ යතුරු පැදියක ගමන් කරමින් සිටියදී උතුරු කළුතර ටැංජරින් හෝටලය අසල දුම්රිය හරස් මඟේදී කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරු පැදිය නවත්වා ඇති බවත්, එම අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් පොලිස් ජීප් රථයක පැමිණි පිරිසක් ‘නැගපියව්’ යැයි කියමින් ඔවුන් අත්අඩංගුවට ගෙන උතුරු කළුතර පොලිස් ස්ථානයට රැගෙන විත් ඇති බවත්ය.
එසේ සිය පුතා අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් විට එදින රාත්‍රියේ ඔහු උතුරු කළුතර පොලිස් ස්ථානයට ගොස් ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත්, එහිදී අදාළ නිලධාරියා ටිකක් ඉන්න යැයි පැවසූ බවත්, ඉන්පසු පැමිණි සිවිල් ඇඳුමින් සැරසුන නිලධාරියකු කාටවත් ඇප දෙන්නේ නැහැ හෙට උදේ එන්න යැයි පැවසූ බවත්, නැවතත් පුතාට ඇප ඉල්ලීමක් කළද ප්‍රතිඵලයක් නොවන බව වැටහී ගිය නිසා පොලිස් සිරමැදිරියේ කෙටි වීඩියෝවක් ගෙන එම අසාධාරණය ප්‍රදේශයේ මහජන නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාරට දැන්වීම සඳහා ඇමතුමක් ලබා ගනිමින් පිටතට පැමිණි බවත්, එහිදී ඔයා එන්න යැයි පැවසූ බැවින් ඇප ලබාදේවී යන විශ්වාශයෙන් යළි චෝදනාගාරයට ගිය බවත්, එම අවස්ථාවේ ඔහුට එන්න කියූ නිලධාරියා හා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් පිරිසක් ඔහුගේ ජංගම දුරකතනය, මුදල් පසුම්බිය හා වාහනයේ යතුර උදුරා ගෙන සිරමැදිරියට තල්ලු කළ බවත් එහි සඳහන් කර තිබේ.
එදින රාත්‍රි 12ට පමණ සිය බිරිඳ පැමිණීමෙන් පසු පුතාට ඇප ලබාදුන් බවත්, ඔහුව පසුදින සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව එල්ල කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත නිදහස් කළ බවත් සිදුවීම විස්තර කරමින් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
