ඉරානයේ Kharg Island වෙත යාත්‍රා කරමින් තිබූ බොට්ස්වානා ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට ඇමෙරිකානු හමුදාව විසින් හෙල්ෆයර් මිසයිල ප්‍රහාරයක් එල්ල කර එය අක්‍රීය කර ඇති බව ඇමෙරිකානු මධ්‍යම විධානය තහවුරු කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන නාවික අවහිර කිරීමේ මෙහෙයුමේ (Naval Blockade) කොටසක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රහාරයට ලක්ව ඇත්තේ “M/T Lexie” නැමැති හිස් තෙල් ප්‍රවාහන නෞකාවකි. ජාත්‍යන්තර මුහුදු තීරයේදී මෙම නෞකාව ඉරානය දෙසට ගමන් කිරීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු බලධාරීන් පැය 24ක් පුරා අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් කර ඇති නමුත්, නෞකාවේ කාර්ය මණ්ඩලය ඒවා නොසලකා හැර තිබේ.
අනතුරුව ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයකින් නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉන් නෞකාව සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇත.
පසුගිය අප්‍රේල් 13 වැනිදා සිට ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ මෙම දැඩි නාවික අවහිර කිරීමේ මෙහෙයුම යටතේ හමුදා ප්‍රහාර හමුවේ අක්‍රීය කළ 6 වැනි නෞකාව මෙය වේ. මීට අමතරව ඉරාන වරායන් වෙත ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් වෙනත් මාර්ග වෙත හරවා යැවීමට ඇමෙරිකානු නාවික හමුදාව පියවර ගෙන ඇත.
මෙම මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය බලකාය (IRGC) විසින් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. බහරේනයේ පිහිටි ඇමෙරිකානු 5 වැනි නාවික බලඇණි මූලස්ථානයට සහ කුවේටයේ සිටින ඇමෙරිකානු භට පිරිස් වෙත මෙම ප්‍රහාර එල්ල වූ බව වාර්තා වේ.
