විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අවශ්‍ය නැහැ… නීතිඥ සංගමය ජනාධිපතිට ලියයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස හිතුවක්කාරි ලෙස වෙනස් නොකළ යුතු බවත්, එවැනි වෙනසක් අවශ්‍ය නොවන බවත්, එමෙන්ම යෝග්‍ය නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය බව ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වා ඇත.

එසේ කිරීමෙන් නීති පද්ධතියේ අඛණ්ඩතාව සහ නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට සහ ආරක්ෂා කිරීමට රජය දක්වන කැපවීම කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාශය බිඳ වැටීමට හේතු වනු ඇති බවත්, එම හේතුව සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය පෙළඹෙන චේතනාව ජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවත් එහි සඳහන් කර තිබේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සභාපතිවරයා ඇතුළු අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාද, අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාද වැඩිකර ඇති බවද, එවැනි වර්ධනයක් සමඟ වැඩකටයුතු සම්බන්ධයෙන් ගත්කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් තිබිය නොහැකි බවද එහි අවධාරණය කර තිබේ.

මේ මොහොතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම අධිකරණයට අත පෙවීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් දැකීමට ඉඩ ඇති බවද, එය භයානක පූර්වාදර්ශයක් විය හැකි බවද, මහජනතාවගේ යහපත සඳහා නොවන මෙවැනි සංශෝධනයක් පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවද එහි සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading