මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබාගත් හැකර් ගිණුමකට බැරවීමේ සිද්ධිය, තාක්ෂණික හැක් කිරීමකට වඩා, නිලධාරීන්ගේ දැඩි නොසැලකිල්ල මත සිදුවූවක් බව අධිකරණයේදී අනාවරණය වූ කරුණු මත පෙනී යයි.
මෙම නඩුව අද (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන ජූලි මස 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, අදාළ ණය ගෙවීම් කටයුතු සිදුකළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බරපතළ පැහැර හැරීමක් සිදුකර ඇති බවයි. ඔවුන් මුල් ගිවිසුම පිළිබඳ කිසිදු කරුණු විමසීමක් හෝ සොයා බැලීමක් සිදුකර නොමැති අතර, එක්ස්පෝට් ෆයිනෑන්ස් ඔස්ට්‍රේලියා නමැති ආයතනයේ ඊමේල් ලිපිනය හරහා ලැබී තිබූ ඉන්වොයිසියක් මත පමණක් පදනම්ව මෙම මහා පරිමාණ මුදල් ගෙවීම සිදුකර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ මුදල් ගෙවීම් සිදුකර ඇති ඉන්ටර්නෙට් සර්වර් පද්ධතියේ දත්ත පිටපත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එම දත්ත ඇතුළත් CD තැටි 04ක් ඉදිරි විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික පරිගණක අංශය වෙත යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව එම දත්ත පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කරනු ලැබීය.
මෙම වංචාව සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 42 දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද අද දින ඔවුන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධ විමර්ශනවල වැඩිදුර ප්‍රගති වාර්තාව ලබන ජූලි මස 08 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
