සිරදඬුවම් නියමව සිටින උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්ට එරෙහිව පවරා ඇති ඉන්ධන දීමනා අවභාවිත කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ විගණන අධිකාරිවරයකු ඇතුළු නව සාක්ෂිකරුවන් දෙදෙනකු නම් කිරීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නේය. මෙම නඩුව ඊයේ (02) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ දී මෙම නියෝගය කළේය.
නඩුව විභාගයට ගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් රජයේ විගණන අධිකාරි එච්.එන්.ඩී. හේරත් සහ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන නිලධාරි බුද්ධික අනෝජ් වීරසිංහ යන මහත්වරුන් පැමිණිල්ලේ 13 සහ 14 වැනි සාක්ෂිකරුවන් ලෙස අලුතින් නම් කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.
එම සාක්ෂිකරුවන් මාර්ගයෙන් අදාළ කාලසීමාව සඳහා උතුරු මැද පළාත් සභාවේ ගිණුම් පිළිබඳ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ එම පළාත් සභාවේ අන්සතු භාණ්ඩ හා ඉඩම් සම්බන්ධ වාර්තාව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව පැමිණිල්ල දන්වා සිටියේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කරමින් දීර්ඝ ලෙස කරුණු දැක්වීය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 (ආ) වගන්තිය ප්‍රකාරව අධිචෝදනා පත්‍රය භාරදෙන අවස්ථාවේදීම විත්තිකරුට ඒ හා සම්බන්ධ සියලු ඇමුණුම් භාර දිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේ දී අදාළ ලේඛන ලබා නොදීම හේතුවෙන් චුදිතයාට සිය විත්තිවාචකය නිසි පරිදි සකස් කර ගැනීමට හෝ ඉදිරිපත් කිරීමට ඇති හැකියාව අහිමි වන බව විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 436 වැනි වගන්තියට අනුව නඩු මෙහෙයවීමේදී සිදුවන දෝෂයක් හෝ මඟහැරීමක් හේතුවෙන් චුදිතයාට අගතියක් වන්නේ නම් එවැනි ලේඛනයක් සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බව කියා සිටියේය.
විත්තියේ නීතිඥවරයා සිය තර්කය තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලද ‘දෝන ලීලාවතී’ නඩු තීන්දුව උපුටා දැක්වීය.
මීට පිළිතුරු දෙමින් පැමිණිල්ල මෙහෙයවන අල්ලස් හෝ දූෂණ කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 167 වැනි වගන්තියට අනුව නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඕනෑම අවස්ථාවක අධිචෝදනාවක් වෙනස් කිරීමට හෝ නව සාක්ෂිකරුවන් නම් කිරීමට පැමිණිල්ලට නීතිමය හැකියාව ඇති බව සඳහන් කළේය.
එමෙන්ම විත්තිය උපුටා දක්වන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිවිල් වරදකට අදාළ වූවක් බවත්, වත්මන් නඩුව අපරාධ වරදක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නක් බැවින් එම තීන්දුව මෙයට අදාළ කරගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ නෛතික තර්කයන් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කළේය. මේ වන විටත් සාක්ෂි විමසා අවසන් කර ඇති 1 සිට 4 දක්වා වූ සාක්ෂිකරුවන් සහ දැන් අලුතින් නම් කළ සාක්ෂිකරුවන් අතර සෘජු සම්බන්ධයක් නොමැති බව අධිකරණය දන්වා සිටියේය.
අලුතින් නම් කළ සාක්ෂිකරුවන් විභාගයට ගන්නා අවස්ථාවේ දී අනාවරණය වන කරුණු මත පදනම්ව, පෙර සාක්ෂිකරුවන්ගෙන් විත්තියට නැවත හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍යතාව පරිදි අවසර දියහැකි බව විනිසුරුවරයා දැනුම් දුන්නේය. එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 439 වැනි වගන්තිය ප්‍රකාරව, නඩුවක ඕනෑම අවස්ථාවකදී යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් යම් තැනැත්තකු සාක්ෂි සඳහා කැඳවීම අත්‍යවශ්‍ය බව අධිකරණයට හැඟී යන්නේ නම් ඒ සඳහා අධිකරණයට පූර්ණ බලතල ඇති බව ද විනිසුරුවරයා සිය නියෝගයේ අවධාරණය කළේය.
2012 සහ 2014 කාලසීමාව තුළ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අමතර ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 5,379,629ක රජයේ මුදල් අවභාවිත කිරීම සහ එම මුදල් ලබා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් පෙලඹවීම ඇතුළු අධිචෝදනා අටක් යටතේ එස්.එම්. රංජිත් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
දැනටමත් වෙනත් වරදක් සම්බන්ධයෙන් වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විඳිමින් සිටින හිටපු මහ ඇමැතිවරයා, බන්ධනාගාර නිලධාරින විසින් දැඩි ආරක්ෂක රැකවල් යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ලබන ජූලි 21දා නඩුව යළි කැඳවේ.
