අසේල කුරුළුවංශ
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් පේරාදෙණිය, ගොරකාදෙණිය ජල පවිත්‍රාගාරයේ මුර කුටිය තුළ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් සමඟ එහි සේවය කළ තාවකාලික මුරකරු පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු විසිපස් (25) හැවිරිදි වියේ පසුවන ගොරකාදෙණිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පැවසේ.
පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති පරිදි, සැකකරු කිසිවෙකුටත් සැක නොසිතන අයුරින් දීර්ඝ කාලයක සිට මෙම ජල පවිත්‍රාගාර මුර කුටිය මත්ද්‍රව්‍ය ගබඩාවක් ලෙස භාවිතා කර ඇත. ඔහු යතුරුපැදියකින් ගොස්, ජංගම දුරකථන තාක්ෂණය ඔස්සේ ස්ථාන සලකුණු (Location) ලබාදීමේ නවීන උපක්‍රමශීලී ක්‍රමවේදයක් ඔස්සේ විවිධ ස්ථානවල මෙම මත්ද්‍රව්‍ය තබා බෙදාහැරීමේ ජාවාරමක නිරත වී තිබේ.
පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් අදාළ ජල පවිත්‍රාගාරය වටලා ඇත. එහිදී මුර කුටිය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි බෑගයක අසුරා සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබේ.
පොලීසිය ප්‍රකාශ කරන පරිදි සැකකරු කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස තමා සේවය කළ රාජකාරි ස්ථානය මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගෙන ඇති අතර, ඔහු මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පුරුකක්ද යන්න සෙවීම සඳහා අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
