හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ පෙත්සමක් විදානලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” විසින් තමන්ට පැනවූ දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ඒ අනුව ඔහුට නියම වූ මරණීය දණ්ඩනය තවදුරටත් තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වෙලේ සුදා නමැත්තා වරදකරු කෙරිණි. ඒ අනුව 2015 ඔක්තෝබර් මස 1 වනදා එවක මහාධිකරණ විනිසුරු වශයෙන් කටයුතු කළ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් කොළඹ මහාධිකරණයේදී ඔහුට මරණීය දණ්ඩනය පැනවීය.
එම දඬුවමෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මුලින්ම අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද එය නිෂ්ප්‍රභ වූ අතර, ඉන් අනතුරුව මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු දෙකම ඉවත් කර තමන් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඇපෑල ගොනු කර තිබුණි.
මෙම ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අභියාචක විත්තිකාර විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු ඉදිරිපත් කළ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය එම අභියාචනයට එරෙහිව කරුණු දක්වමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. එහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව පවසමින් එය විභාගයට ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කර වහාම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබේ.
