පල්ලේගම හේමරතන හිමිව ඔහු දැරූ තනතුරුවලින් ඉවත් කළ බව මල්වතු පාර්ශවය නිවේදනය කළද එම ඉවත් කිරීම සිදුවී ඇත්තේ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ කාරක මහා සංඝ සභාව මුලින් ගත් තීරණයක් අනුව නොවන බව වාර්තා වේ.
පැනනැඟුන විරෝධතා හමුවේ අනුරාධපුරයේ අටමස්ථානවලට අයත් විහාරාධිපතිලාගෙන් සැදුම්ලත් අටමස්ථාන කමිටුව විසින් පල්ලේගම හේමරතන හිමිව ඔහුට අදාළ නඩු කටයුතු අවසන් වනතෙක් අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් කර එම තනතුරේ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලිසෑය අධිපති ඊතලවැටුනවැවේ ඤාණතිලක හිමි පත් කිරීමට තීරණය කර තිබේ.
ඉන්පසු එම වැඩ බැලීමේ පත්වීම ගැන දැනුම් දීමට හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට මල්වතු මහා විහාරයට ගොස් මහනායක හිමි ඇතුළු කාරක මහ සංඝ සභාව හමුවී තිබේ. එහිදී මල්වතු කාරක මහා සංඝ සභාවට සිදුවී ඇත්තේ ඒ සඳහා අනුමැතිය ලබාදීමටය.
එම අනුමැතිය ලබාදීමෙන් පසු මල්වතු පාර්ශවයට ඔවුන් විසින් පල්ලේගම හේමරතන හිමිට ලබාදී ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක තනතුරේ තවදුරටත් තබා ගැනීමේ නොහැකියාවක් ඇති වී ඇති අතර ඒ අනුව අටමස්ථාන කමිටුවේ තීරණය අනුව යමින් හේමරතන හිමිගේ සංඝනායක තනතුර අත්හිටුවීම ද සිදුකර තිබේ.
