පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා, දැනට සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා එළඹෙන ජූනි මස 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (01) නියෝග කර තිබේ.
පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවකට සිය සේවාදායකයා වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දැනටමත් බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවමක් නියම කර ඇති බව විත්තිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයට පෙන්වා දී ඇත.
එසේ තිබියදී, නීතිපතිවරයා විසින් එම චෝදනාම පදනම් කරගනිමින් තවත් නඩුවක් ගොනු කිරීම නීතිවිරෝධී බවත්, එකම වරදකට පුද්ගලයෙකුට එරෙහිව දෙවතාවක් නඩු පැවරීම පොදු නීතිමය ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැණි බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මහාධිකරණ නඩු විභාගයේදී මෙම කරුණ සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළද, මහාධිකරණ විනිසුරුවරයා එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නව චෝදනා පත්‍රය නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා එළඹෙන ජූනි මස 17 වනදා කැඳවීමට නියෝග කර ඇත.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාහැරීම සඳහා ‘සතොස’ ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 39 ක පාඩුවක් සිදුකළ බවට හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී ඇත. නීතිපතිවරයා විසින් මෙම නඩුව පොදු දේපළ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
