ගම්මන්පිලගේ ප්‍රකාශවල සංස්කරණය නොකළ දර්ශන CIDයට දීමට නාලිකා ප්‍රධානීන්ට නියෝගයක්

ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවත්වනු ලබන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උදය ගම්මන්පිල මහතා සහභාගී වූ මාධ්‍ය වැඩසටහන්වල සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් පිටපත් කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ විද්‍යුත් නාලිකාවල ප්‍රධානීන්ට නියෝග කර ඇත.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද විශේෂ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ ඇතුළත් විද්‍යුත් නාලිකාවල විකාශය වූ දර්ශන සහිත CD තැටි මේ වන විටත් තමන් වෙත ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, විමර්ශන වඩාත් නිවැරදිව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යාම සඳහා විකාශය වූ කොටස් පමණක් නොව, එහි සංස්කරණය නොකළ මුල් පිටපත් පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය බැවින් මෙම නියෝගය ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ පුවත්පත් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට සහය වීමක් ලෙස, මෙම සංස්කරණය නොකළ මුල් දර්ශන පෙළ පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස අනුමත කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading