ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයට අදාළව මැයි 29 වැනිදා සාක්ෂි ලබාදීම චන්ද්‍රසේනගේ නීතිඥවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවර රජීව් අමරසූරිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ බව දැනුම් දුන් අතර, ඔවුන්ව මෙම සාක්ෂි කැදවීමට කැදවීම නිත්‍යානුකූලදැයි සලකා බලන ලෙස රජීව් අමරසූරිය මහතා ඉල්ලීමක් කර තිබේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම හයවන දිනටත් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්විණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) දැනුවත් කිරීමකට අනුව 19 සහ 20 වැනි සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය අවධාරණය කළේ, නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර සිදුවන ගනුදෙනුවල රහස්‍යභාවය සුරැකීමට නීතිඥවරයා බැඳී සිටින බැවින් ඔවුන්ට මෙලෙස සාක්ෂි ලබාදීම සුදුසුදැයි සලකා බැලිය යුතු බවයි.
“ස්වාමීනී, නීතිඥවරයෙක් සහ සේවාදායකයෙක් අතර සිදුවන නීතිඥ උපදෙස් හුවමාරුවකදී, වෘත්තීය කටයුතුවලදී සාක්ෂි ආඥා පනතේ 126 වගන්ති ප්‍රකාරව හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ගේ 30-31 සිට 34 දක්වා රීති අනුව සිය සේවාදායකයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නීතිඥවරයෙක් වගකියනවා. මෙම මරණ පරීක්ෂණ විමර්ශනය සිදු කරනුයේ මරණයට හේතු සෙවීමටයි. එවැනි තත්ත්වයක නීතිඥ මහතෙක් සහ සේවාදායකයෙක් අතර සිදු වූ වෘත්තීය ගනුදෙනුවක් සම්බන්ධව සාක්ෂි මෙහෙයවීමේ අවශ්‍යතාවයක් ඇති ද යන්න සලකා බැලිය යුතු බව අධිකරණයේ අවධානයට යොමු කරනවා.”
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370/5 වගන්තිය ප්‍රකාරව මෙම සාක්ෂිකරුවන් කැඳවීමේ අවශ්‍යතාවය සලකා බලන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේ කුමන කරුණක් සම්බන්ධයෙන් අදාළ නීතිඥවරුන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමට අපේක්ෂා කරන්නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු කිහිපයක් පෙන්වා තිබේ.
මරණකරු වන කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගතව සිට 2026/05/05 දින ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමෙන් පසු, ඇප තැබීමේ ක්‍රියාවලියේ ගැටලුවක් මත පසුදින ඔහුට යළි වරෙන්තු නිකුත් වී ඇත.
මේ සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට ඇප තැබූ අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිඳ, මැයි 7 වැනිදා ජනාධිපති නීතිඥ රියෙන්සි මහතාගේ නිවසේදී ඔහුව මුණගැසී තිබේ. මෙම හමුව සිදුවී ඇත්තේ මරණයට පෙර දිනයේය. මරණකරු අවසානයට කාලය ගත කර ඇත්තේ ජනාධිපති නීතිඥවරයා හමු වී පැමිණි පිරිස සමගය.
මෙම සාකච්ඡාව අතරතුරදී අරවින්ද සිල්වාගේ බිරිඳගේ දුරකථනයෙන් මරණකරු වන කපිල චන්ද්‍රසේන මහතා නීතිඥවරයා සමඟ කතා කර ඇති බැවින් ඒ පිළිබඳ සාක්ෂි සටහන් කරගැනීමට අවශ්‍ය බව පොලිසිය පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370/5 වගන්ති ප්‍රකාරව 19 සහ 20 වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති නීතිඥවරුන් දෙදෙනාට සිතාසියක් ලදහොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කරමින් මුදා හැරියේය.
මෙම නීතිඥවරුන් දෙදෙනා සාක්ෂියට කැඳවීමට නීත්‍යානුකූලව අවශ්‍ය වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණාත්මක නියෝගය ජුනි 02 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි විමසීම ජුනි 2 වැනිදා යළි සිදුකිරීමට නියමිත අතර, එදිනට 21 සහ 22 සාක්ෂිකරුවන්ටද අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.
