පල්ලේගම විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ඉල්ලයි! ඇප අවලංගු කරන්නැයි ඉහළ අධිකරණවලට යන්නේ නැති බව කියයි!

ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ඇප ලබා දිම සදහා අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය පිළිබද මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට සූදානම් නොවන බවත්, විමර්ශන ළමාරක්ෂක අධිකාරිය වෙත පවරන ලෙස ඉල්ලා පොලීස්පතිවරයා වෙත ලිපියක් යොමු කරන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ආරංචිමාර්ග පවසයි.

අප කළ විමසීමකදී එහි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ, මහේස්ත්‍රාත් අධිකරණයේදී තම සේවාදායකයාට ඇප නොදුන් අවස්ථාවක සැකකාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඉහළ උසාවියට ගොස් ඇප ලබාගැනීම සාමාන්‍ය කරුණක් වුණත්, ඇප ලබාදුන් අවස්ථාවක මහාධිකරණයට ගොස් ඇප අවලංගු කිරීම සදහා පැමිණිලි පාර්ශ්වය ගොනුකරන නඩුවක් එතරම් ශක්තිමත් නොවනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි.

එවැනි පසුබිමක ජාතික ළමාරක්ෂක අධිකාරිය සතු සීමිත සම්පත් ඇප අවලංගු කරගැනීම සදහා වූ අධිකරණ කටයුත්තකට වැය කිරීමට අසීරු බව එම අධිකාරියේ විශ්වාසය වී තිබේ. මේ වන විට මෙම සිදුවීමට අදාලව ජාතික ළමාරක්ෂක අධිකාරිය උත්සාහ ගනිමින් සිටින්නේ විමර්ශන තම ආයතනය වෙත පවරන ලෙස ඉල්ලා සිටීමට බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මෙම විමර්ශන තම අධිකාරිය වෙත පවරන ලෙස ලිඛිතව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බව ආරංචිමාර්ග පැවසීය.

මේ අතර, අදාල වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පිරිසක් මේ වන විට අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම පිළිබද සාකච්ඡා කරමින් සිටින බව ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

පල්ලේගම හේමරතන හිමිට පසුගිය 22 වැනිදා අනුරාධපුර මහේස්‍ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් ඇප ලබාදුන් අතර විත්ති පාර්ශ්වය ඇප ඉල්ලා සිටීමත්, පැමිණිලි පාර්ශ්වය වන පොලිසිය ඇප ලබාදිමට එරෙහි නොවීමත්, විමර්ශන අවසන් කොට ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව ප්‍රකාශ කර සිටීමත්, නීතිපති නියෝජනයක් නොමැති වීමත් ඇතුළු කරුණු එහිදී සලකා බලා තිබුණි.

කෙසේ වෙතත් ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ පෞද්ගලිකව දැරිය වෙනුවෙන් ඉදිරිපත් වී නීතිඥවරුන් ඇප ලබා දීමට පෙර මෙම හිමිනම විමර්ශනවලට බලපෑම් කිරීමට ඉඩ තිබෙන බවත්, මෙම හිමිනමට ඇප ලබා දීම මහජන කැළඹීමකට හේතු විය හැකි බවත් පෙන්වමින් යම් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම කරුණු පෙන්වාදෙමින් ඉහළ අධිකරණයකින් ඇප නියෝගය අවලංගු කරවාගත යුතු බව නීති ක්ෂේත්‍රයේ සාකච්ඡාවක් ඇති වී තිබුණි.

Author

Related Posts