ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන් තුළ බාහිර පාර්ශ්වීය ශ්‍රම සැපයුම් ආයතන (Manpower Agencies) මඟින් සේවකයන් බඳවා ගැනීම නියාමනය කිරීම සහ එම සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
පසුගිය කාලසීමාව තුළ ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සඳහා සෘජුව සේවකයින් බඳවා ගැනීම වෙනුවට, බාහිර මෑන් පවර් ආයතන හරහා තාවකාලික පදනමින් සේවකයින් ලබා ගැනීමේ ප්‍රවණතාවක් ක්‍රමානුකූලව වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.
ඒ අනුව මෙලෙස බඳවා ගන්නා මෑන්පවර් සේවකයින් සැලකිය යුතු දීර්ඝ කාලයක් තිස්සේ එකම රාජ්‍ය ආයතනයක සේවයේ යොදවා ඇති අවස්ථා ද බහුලව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් රාජ්‍ය අංශය තුළ බරපතළ කම්කරු සහ සමාජීය ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව රජය පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම බාහිර පාර්ශ්වීය සේවකයින් ආයතනයේ ස්ථිර සේවකයින් හා සමාන රාජකාරී සහ වගකීම් ඉටු කළ ද, ඔවුන්ට කිසිදු රැකියා සුරක්ෂිතතාවක් හිමි නොවන බැවින් දැඩි රැකියා අනාරක්ෂිතභාවයකට මුහුණ දීමට සිදු ව ඇත.
එසේම, ඔවුන්ට හිමි විය යුතු ව්‍යවස්ථාපිත ප්රතිලාභ මෙන්ම නිසි නීතිමය පිළිගැනීමක් ද නොලැබීම නිසා ඔවුන් සමාජීය වශයෙන් ද අසරණ භාවයට පත් වේ. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන්, සමාන කාර්යයේ නිරත වන සේවකයින්ට සමාන වැටුප් සහ ප්රතිලාභ හිමි විය යුතුය යන මූලික ජාත්‍යන්තර කම්කරු සංකල්පය (Equal Pay For Equal Work) පැහැදිලිවම උල්ලංඝනය වන බව ද රජය වැඩිදුරටත් අවධාරණය කරයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්රඥප්තියට අනුව මෙරට සේවක අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව, පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බව කම්කරු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
පොදුවේ ගත් කල මෑන් පවර් සේවකයන් යනු දැඩි ශ්‍රම සූරාකෑමකට ලක් වන පිරිසකි. ස්ථිර සේවකයින් හා සමාන රාජකාරී ඉටු කළ ද, මෙම සේවකයින්ට කිසිදු රැකියා සුරක්ෂිතතාවක්, ව්‍යවස්ථාපිත ප්රතිලාභ හෝ නිසි නීතිමය පිළිගැනීමක් හිමි නොවේ. මෙය සමාන කාර්යයේ නිරත වන සේවකයින්ට සමාන වැටුප් සහ ප්රතිලාභ හිමි විය යුතුය යන මූලික කම්කරු සංකල්ප පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දීර්ඝ කාලයක සිට මෙම මෑන් පවර් ක්‍රමයට එරෙහිව විවිධ විරෝධතා සහ ක්‍රියාමාර්ග දියත් කර ඇති අතර, ඇතැම් සමිති බලකර සිටින්නේ මෙම අසාධාරණ ක්‍රමය සහමුලින්ම අහෝසි කළ යුතු බවයි. මීට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වැනි ප්‍රධාන රාජ්‍ය ආයතනවල සේවකයන් සිදු කරන ලද දීර්ඝ වෘත්තීය සටන් හමුවේ, එහි සිටි මෑන් පවර් සේවකයන් විශාල පිරිසක් එම ආයතනවලම ස්ථිර සේවකයන් ලෙස බඳවා ගැනීමට එවකට පාලනාධිකාරීන්ට සිදු විය.
රජය පවසන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්රඥප්තියට අනුව පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමටත්, දැනට සිටින සේවකයන්ට අගතියක් නොවන පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මෙම නිලධාරි කමිටුව පත් කළ බවයි.
කෙසේ වුවද, සමහර වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ රජයේ මෙම ක්‍රියාමාර්ගය හරහා අවසානයේදී සිදු විය හැක්කේ පුද්ගලික අංශයේ කම්කරු නීතිය තුළට ද මෙම මෑන් පවර් ක්‍රමයට අදාළ නීති නිල වශයෙන් ඇතුළත් වීම බවයි. මීට පෙර පැවති පාලන සමයන්හිදී විශේෂයෙන් හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ කම්කරු නීති සංශෝධන යෝජනා හරහා මෙරට ශ්‍රම වෙළෙඳපොළ තුළ මෑන් පවර් ක්‍රමය නීත්‍යානුකූල කිරීමට දැරූ උත්සාහයම, මෙම නව කමිටු නිර්දේශ හරහා වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවට සමහර වෘත්තීය සමිති සැක පළ කරති.
මීට අදාළ කැබිනට් තීරණය පහත දැක්වේ.

