තායිලන්තයෙන් කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා හාමුදුරුවරු ඇතුළු 25 දෙනා යළි රිමාන්ඩ්

තායිලන්තයේ සිට රුපියල් කෝටි ගණනක් වටිනා “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ඇතුළු සැකකරුවන් 25 දෙනා එළැඹෙන ජුනි මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය අද (26) නියෝග කර තිබේ.

අධිකරණ ශාලාවේ පවතින අධික තදබදය සැලකිල්ලට ගනිමින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මෙම සැකකරුවන් Online ක්‍රමයට අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස අලුතින් නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නමැත්තා මුල්වරට අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බැවින්, ඔහුව පමණක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මඟින් පෞද්ගලිකවම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේ, මෙම ජාවාරමට සෘජුවම සම්බන්ධ ‘රාජා අන්වර්’ නමැති සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත්ය. දැනට පලාගොස් සිටින තවත් සැකකාර චීවරධාරියෙක් සමඟ මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බවට ද හෙළි වී ඇත.

මේ අතර, මෙම සිද්ධියේ නඩු 22කට අදාළව වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කළ කාන්තා උප පොලිස් පරීක්ෂක ලක්මාලි මහත්මිය සඳහන් කළේ, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22 සඳහා සැකකරුවන් 8 දෙනෙකු අලුතින් නම් කිරීමට ද පියවර ගෙන තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් 25 දෙනා ලබන ජුනි 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් කරුණාරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිට තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading