පළාත් සභා ඡන්දය තියන්න විදිහක් නෑ… ටිල්වින් කවුද එහෙම කියන්න?

රට තුළ ඇති වූ දිට්වා සුළි කුණාටු ව්‍යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට සිදු වීම හේතුවෙන්, මේ වසරේ (2026) පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා මැතිවරණය ලබන වසර දක්වා කල් දැමීමට සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පසුගිය 23 දා ජාතික ජන බලවේගයේ (NPP) යාපනය දිස්ත්‍රික් නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ නිල උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි පන්සියයක මුදලක් වෙන් කර තිබුණද, පසුගිය කාලයේ රටට දැඩි බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සහන සේවා සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් එම මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වූ බව ටිල්වින් සිල්වා පැවසීය.

දරුණු ගංවතුර සහ නායයෑම් නිසා සිදු වූ හානිය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩුවේ පළමු වගකීම බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා, වෙනත් බාහිර ගැටලු මතු නොවුණහොත් ලබන වසර (2027) වන විට පළාත් සභා මැතිවරණය නිශ්චිතවම පැවැත්වීමට තමන්ට හැකි වනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තෙල් ආනයන වියදම් පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා, එය වත්මන් රජය මුහුණ දෙන අලුත්ම ආර්ථික අභියෝගය බව කීය.

ඉන්දීය රජය සහ වත්මන් මාලිමා රජය අතර ඉතා සමීප සහ යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් පවතින බවත්, ආණ්ඩුවේ අභ්‍යන්තර තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු ආකාරයක බලපෑමක් නොමැති බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරමින් උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දු පරිදි, ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ජනතාවගේ ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ප්‍රතිපත්තියක්, අයවැය ප්‍රතිපාදන වෙනස් කිරීමක් හෝ මැතිවරණයක් කල් දැමීමක් වැනි සමස්ත රටටම බලපාන නිල රාජ්‍ය තීන්දුවක් ප්‍රකාශ කිරීම සඳහා ව්‍යවස්ථාපිතව සහ නෛතිකව බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය සහ වගකීම පාර්ලිමේන්තුවට සහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවරෙන බැවින්, මැතිවරණ සඳහා වෙන් කළ රුපියල් කෝටි 500ක මුදලක් වෙනත් හදිසි ආපදා සහන කටයුත්තකට මාරු කරන්නේ නම් ඒ පිළිබඳ නිල ප්‍රකාශය කළ යුත්තේ මුදල් අමාත්‍යවරයා හෝ ඔහුගේ අනුමැතිය ලත් මුදල් අමාත්‍යාංශයයි.

එසේම, රාජ්‍ය භාණ්ධාගාරයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට භාණ්ධාගාරයේ මූල්‍ය ද්‍රවශීලතාව සහ මුදල් කළමනාකරණය සිදුවන ආකාරය පිළිබඳව නිල තාක්ෂණික ප්‍රකාශයක් නිකුත් කිරීමට නෛතික බලය හිමි වේ.

ටිල්වින් කවුද එහෙම කියන්න?

ආණ්ඩුවේ කිසිදු නිල තනතුරක් නොදරන, ජාතික ජන බලවේගයේ ප්‍රධාන සභාගය වන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකදී රාජ්‍ය ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තැන තැන තීන්දු ප්‍රකාශ කිරීමට ඇති බලය කුමක්ද? ටිල්වින් සිල්වාට ඕනෑම දෙයක් පැවසීමට නිදහස තිබෙන නමුත් පළාත් සභා ඡන්දය පවත්වන්නේද නැද්ද, එය පවත්වන්නේ කවදාද, ඊට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙනතකට හැරවීමක් හෝ මැතිවරණ කල් දැමීමක් වැනි නිල තීරණයක් ප්‍රකාශ කිරීමට දේශපාලන JVP ලේකම්වරයාට බලයක් නොමැත.

එවැනි නෛතික බලයක් නොමැති පසුබිමක, ආණ්ඩුවේ වගකීම් සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය මෙලෙස පටලවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයට එල්ල කරන බරපතළ අභියෝගයකි.

ටිල්වින් සිල්වාගේ මෙම ප්‍රකාශය හුදෙක් මූල්‍ය අර්බුදයක් පිළිබඳ පැහැදිලි කිරීමකට එහා ගිය, අධිකරණ බලයට සහ ජනතාවගේ සෛවෛරී ඡන්ද අයිතියට එල්ල කළ සෘජු අභියෝගයකි.

විශේෂයෙන්ම, මීට පෙර පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම තීන්දු කළේ ජනතාවගේ ඡන්ද අයිතිය යනු කඩකළ නොහැකි මූලික අයිතිවාසිකමක් බවත්, ප්‍රතිපාදන හිඟකම පවසමින් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුවකට නෛතික හැකියාවක් නොමැති බවත්ය.

එවන් පසුබිමක, සුළි කුණාටු සහන සේවා සඳහා මුදල් යෙදවූ බැවින් ඡන්දය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ලබා දී ඇති අදාළ ඓතිහාසික නෛතික ස්ථාවරය නොසලකා හැරීමක් ලෙස හැඳින්විය හැකිය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading