npp.lk අතුරුදන්! JVP වෙබ් සයිට් එක තියෙනවා…

ජාතික ජන බලවේගයේ වෙබ් අඩවිය වන npp.lk අතුරුදන් වී ඇත. ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට පෙර සිටම ඔවුන්ගේ නිල වෙබ් අඩවිය ලෙස මෙය පවත්වාගෙන ගිය අතර එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළු මැතිවරණ පොරොන්දු ලියවිලි එහි අන්තර්ගත විය.

නමුත් මීට සමගාමීව, ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවිය jvpsrilanka.com සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ජාතික ජන බලවේගයේ නිල වෙබ් අඩවිය වන npp.lk හි ප්‍රධාන වශයෙන්ම ඇතුළත් කර තිබුණේ 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඉලක්ක කරමින් ප්‍රකාශයට පත් කළ, පසුව වත්මන් රජයේ ප්‍රතිපත්ති රාමුව බවට පත් වූ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ ඊට අදාළ ක්ෂේත්‍රීය ප්‍රතිපත්ති මාලාවන් ය.

එම වෙබ් අඩවියේ Download හැකි වන සේ සකසා තිබූ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ලේඛන ලැයිස්තුවේ පළමු කොටසට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සමන්විත “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මුළු ලේඛනය ඇතුළත් වූ අතර, දෙවැනි කොටස යටතේ විවිධ වෘත්තීයවේදීන් සහ බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් සකස් කරන ලද ක්ෂේත්‍රීය ප්‍රතිපත්ති ප්‍රකාශන රැසක් වෙන වෙනම දක්වා තිබුණි.

ඒ අතර අධ්‍යාපන ප්‍රතිපත්තිය ද, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සහ ඖෂධ නියාමනය පිළිබඳ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ද, නිෂ්පාදන ආර්ථිකයක් දෙසට රට යොමු කරමින් ඛනිජ, මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සංවර්ධනය ඉලක්ක කළ ආර්ථික හා කර්මාන්ත ප්‍රතිපත්තිය ද ප්‍රමුඛ විය.

මීට අමතරව, ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කිරීමේ උපායමාර්ගික සැලැස්ම ඇතුළත් සංචාරක කර්මාන්ත ප්‍රතිපත්තිය, ආහාර සුරක්ෂිතතාව සහ දේශීය ගොවියා/ධීවරයා ශක්තිමත් කිරීම අරමුණු කළ කෘෂිකර්ම, සත්ව පාලන සහ ධීවර ප්‍රතිපත්තිය, පුනර්ජනනීය බලශක්තිය සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ බලශක්ති සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය, මලයග ජනතාව සඳහා වන හැටන් ප්‍රකාශනය, සමාජ සමානාත්මතාවය, ළමා සුරක්ෂිතතාව සහ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන තාරුණ්‍යය, කාන්තා සහ ළමා ප්‍රතිපත්තිය මෙන්ම සිනමාව, සාහිත්‍යය, රංග කලාව ඇතුළු නිර්මාණශීලී කර්මාන්ත නංවාලීම අරමුණු කරගත් සංස්කෘතික හා කලා ප්‍රතිපත්තිය ද එම ක්ෂේත්‍රීය ලේඛන මාලාවට ඇතුළත් කර තිබුණි.

මැතිවරණ සමයේ දී NPP ය විසින් ලබාදෙන ලද පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශන, ඔවුන් බලයට පත්වූ පසු ජනතාව විසින් නිරන්තරයෙන් පසුපිරික්සුමකට ලක් කිරීම සහ ප්‍රතිපත්ති පිළිබඳ මහජන විවේචනයෙන් සහ ප්‍රශ්න කිරීම්වලින් තාවකාලිකව මඟහැරීමට උත්සාහ කිරීමක් ලෙස මෙම වෙබ් අඩවිය වසා දැමුවේද යන්න ගැටලුවකි.

Author

Related Posts