ජාතික කලාභවන තුළ තැන්පත් කර තිබූ මිළ කළ නොහැකි පෞරාණික වටිනාකමකින් යුත් සිතුවම් 42 අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදුවන බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 15 දෙනකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා පවසනවා.
ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ චිත්‍ර අස්ථානගත වීමක් සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට අදාළව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි විසින් ලබා දුන් පිළිතුරු අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු වනු ලැබුවා.
කෙසේ නමුත්, එම මිළ කළ නොහැකි පෞරාණික වටිනාකමකින් යුත් සිතුවම් 42 අතුරින් 14 ක් 2008 වසරේදී මුද්‍රණය කර ඇති ඇල්බමයකට ඇතුළත් කර ඇති බැවින් පහසුවෙන් හඳුනාගත හැකි නමුත්, ඉතිරි සිතුවම් 28 සම්බන්ධයෙන් කලාභවනට සම්බන්ධ කිසිදු බලධාරියෙකු හෝ පුද්ගලයෙකු නොහඳුනන බවයි සඳහන් වන්නේ.
මේ අතර, 1987 වසරේ දී සිතුවම් සම්බන්ධයෙන් සටහන් තිබූ ජාතික කලා භවනේ තොග භාණ්ඩ ලේඛනය ද අස්ථානගතව ඇති අතර, කලාභවනේ තිබූ චිත්‍ර 63ක් අබලි චිත්‍ර බව සඳහන් කරමින් රුපියල් 1500 ක මිළකට 1999 වසරේ දී අලෙවිකර ඇති බව චිත්‍ර බලා ගැනීමට සිටි පුද්ගලයෙකු විසින් හෙළි කර තිබෙනවා.
එනමුත් ඒ සම්බන්ධයෙන් නිසි ලේඛනයක් කලා භවනේ ඇති ලේඛනවලින් පවා සොයා ගැනීමට නොහැකි වීම දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා.
මීට අමතරව, විදේශයක පැවැති චිත්‍ර ප්‍රදර්ශනයකට වරක් රැගෙන ගිය චිත්‍ර කිහිපයක්ද නැවතත් කලා භවනට රැගෙන විත් නැති බවට තොරතුරු සඳහන් වන බවයි සඳහන් වන්නේ.
මෙකී සෑම කරුණක් සම්බන්ධයෙන් ම පොලීසියේ අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා පවසනු ලැබුවා.
මෙම පෞරාණික වටිනාකමකින් යුත් සිතුවම් 42 අස්ථානගත වීම සම්බන්ධයෙන් 2023 වසරේ දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරියක් විසින් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්ධෆයන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මූලික විමර්ශනයක් සිදුකර ඇතත් අද වන තුරු අස්ථානගත වූ චිත්රවලට කුමක් සිදුවී දැයි සොයාගැනීමට නොහැකි වීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
කෙසේ නමුත්, එලෙස අස්ථානගත වූ චිත්‍ර අතර ලයනල් වෙන්ට්ඩ් ඇතුළු චිත්‍ර ශිල්පීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද 43 කණ්ඩායමේ චිත්‍ර කිහිපයක් හා ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත චිත්‍ර දෙකක්ද පැවති බවයි සඳහන් වන්නේ.
