මර්දනීය අණ පනත් මාලිමා සළුපිළි අන්දවා නැවත කරලියට – වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ජනපති අනුර කුමාරට සැර ලිපියක්…

රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සහ යෝජිත නව අණපනත්වලින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතළ ලෙස සීමා වන බව පවසමින් වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය මැයි 13 වැනිදා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සමඟ පැවති සාකච්ඡාවකදී මතු වූ කරුණු පදනම් කරගනිමින් මෙම ලිපිය සකසා ඇති අතර, එහි පිටපත් ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ද යොමු කර තිබේ.

මාධ්‍ය නියෝජිතයින් පෙන්වා දෙන්නේ මැයි 13 පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරිය දැක්වූ ඇතැම් අදහස් පිළිබඳව තමන් දැඩි සේ විමතියට හා කණගාටුවට පත්වන බවයි. විශේෂයෙන්ම, “ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතට විරුද්ධව අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය” බවට නියෝජ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය ඔවුහු මුළුමනින්ම ප්‍රතික්ෂේප කරති.

මෙම කෙටුම්පතේ ඇති බරපතළ ගැටලු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ අදහස් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත ලිඛිතවත්, වාචිකවත් ඉදිරිපත් කර තිබියදී අමාත්‍යාංශය නොදන්නා බව ඇඟවීම කණගාටුදායක බව ලිපියේ සඳහන් වේ.

එම සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය විසින් කරුණු කිහිපයක් අවධාරණය කර ඇති අතර, මාධ්‍ය සංවිධාන ඒ පිළිබඳව රජයේ නිල සහ අවසාන තීරණය කුමක්දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටී.

මෙම ලිපිය මඟින් වත්මන් රජය වෙත මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේග රජය බලයට පත්වීමට පෙර විපක්ෂයේ සිටියදී මාධ්‍ය මර්දනයට එරෙහිව පෙනී සිටි ආකාරයයි. පෙර පැවති රජයන් විසින් මාධ්‍යවේදීන් මෙන්ම එදා විපක්ෂයේ සිටි වත්මන් පාලකයින්ද මර්දනය කිරීම සඳහා රැගෙන ආ අණපනත් සහ ප්‍රතිපත්තීන්ම, අද වන විට නව මාළිමා සළුපිළි අන්දවා නැවත කරළියට රැගෙන ඒමට කටයුතු කිරීම දෛවයේ සරදමක් බව ඔවුහු සෘජුවම ප්‍රකාශ කරති.

එමෙන්ම, අද දවසේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම මර්දනීය නීති ඉදිරි දිනෙක බලය අහිමි වූ පසු වත්මන් පාලකයින්ටම පාරාවළල්ලක් වනු ඇති බවත්, එදාට ඔවුන්ටද මෙම මර්දනයට මුහුණ දීමට සිදු වන්නේ තමන් වැනි පීඩිත මාධ්‍යවේදීන් සමඟම බවත් ලිපිය මඟින් අවධාරණය කර ඇත. අවසාන වශයෙන් මාධ්‍ය සංවිධාන චෝදනා කර සිටින්නේ, මෙලෙස කඩිමුඩියේ ගෙන එන නව අණපනත් හා ප්‍රතිපත්තිවල සැබෑ අරමුණ ජනතාවගේ ප්‍රකාශන අයිතිය සීමා කරමින්, රජයේ සකලවිධ දූෂණයන්, අක්‍රමිකතාවයන් සහ දූෂිතයින් ආරක්ෂා කර ගැනීම බවයි.

එම ලිපිය පහත දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading