ජාතික කලාභවන තුළ තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් මිළ කළ නොහැකි සිතුවම් 42 ක් අතුරුදහන් !

ජාතික කලාභවන තුළ තැන්පත් කර තිබූ මිළ කළ නොහැකි පෞරාණික වටිනාකමකින් යුත් සිතුවම් 42 අස්ථානගත වී ඇති බවත්, ඒ සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබ ඇති බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව, 2015 වර්ෂය සඳහා එවක සංස්කෘත කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයන් විසින් ජාතික කලාභවනේ විත්‍ර හා මූර්ති සමීක්ෂණයකින් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි මුළු සිතුවම් සංඛ්‍යාව 281 ක් ලෙස සටහන් ව ඇති බවත්, මේ වන විට කලාභවන තුළ භෞතිකව ඇති සිතුවම් ප්‍රමාණය 239 ක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා සිතුවම් 42 ක් අස්ථානගත වී ඇති බව පෙන්වා දෙනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් විසින් පත්කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම කමිටුව විසින් මේ වන විට සාක්ෂි සටහන් කරගනිමින් පවතින බවත්, මේ පිළිබඳව සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදුකරන ලද තොරතුරු කැඳවීම්වලට අනුව අමාත්‍යංශය විසින් තොරතුරු ලබා දී ඇති බවත් අමාත්‍යවරයා එහි දී ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද ? යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් පැවසුවා.

කෙසේ නමුත්, කොළඹ, ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2012 වසරේ සිට ප්‍රධාන ගැලරියේ වහලය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වසා තබා ඇති බවත්, එතැන් සිට නියමානුකූලව කලාභවන විවෘතව තැබී නැති බවත් සඳහන් කළ අමාත්‍යවරයා 2020 වසරේ දී නැගෙනහිර ප්‍රදර්ශන ශාලාව තුළ පමණක් චිත්‍ර තැබීමට කටයුතු කර ඇති බවත්, 2020 දෙසැම්බර් 29 දිනෙන් පසු කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්බූර්ණයෙන්ම වසා දමා ඇති බවත් වැඩිදුරටත් සඳඟහන් කරනු ලැබුවා.

කලාභවන පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනතෙක් අවසන් වී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මේ වනවිට රුපියල් මිලියන 163.5 ක මුදලක් වැය කර ඇති බවත්, ජෝන් ද සිල්වා සමරු රඟහල ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කර තිබූ මුදලක් ද මෙම කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති බවත් වැඩිදුරටත් පැහැදිලි කරනු ලැබුවා‍.

අවසාන වශයෙන් මෙම වසර අවසන් වීමට ප්‍රථමයෙන් කලාභවන පරිශ්‍රය නැවත විවෘත කිරීමට හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

Author