කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ අල්ලස් නඩුවකට අදාළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇප බැඳුම්කරයට තැබූ අත්සන හේතුවෙන් මහාධිකරණ කාර්ය මණ්ඩලය දැඩි විමතියකට මෙන්ම ගැටලුකාරි තත්ත්වයකට පත්වීමේ පුවතක් ඊයේ (18) අධිකරණ පරිශ්‍රයෙන් වාර්තා විය.
තමන්ට නියම වූ ඇප කොන්දේසි සපුරාලීම සඳහා කබ්රාල් මහතා ඇප බැඳුම්කරයට අත්සන් තබනු ලැබූ අතර එහිදී ඔහු යෙදූ අත්සන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල දැක්වෙන ඔහුගේ සුප්‍රකට අත්සනට වඩා සපුරා වෙනස් එකක් බව මහාධිකරණ කාර්ය මණ්ඩලයේ තියුණු නිරීක්ෂණයට ලක්ව ඇත.
මේ පිළිබඳ අධිකරණ නිලධාරීන් විසින් වහාම විත්තිකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කර තිබේ. එහිදී සිනාසෙමින් පිළිතුරු දී ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, මුදල් නෝට්ටුවල දැක්වෙන්නේ තමන්ගේ අත්සන නොව තමන්ගේ නම බවත් ඇප අයදුම්පත සඳහා යොදනු ලැබුවේ තමන්ගේ සාමාන්‍ය නිල රාජකාරි අත්සන බවත් ප්‍රකාශ කර ඇත.
තමන් මුදල් නෝට්ටුවල නම අත්සනක් ලෙස යෙදූ බවත් මේ ආකාර දෙකටම අත්සන් කරන බවට විත්තිකරු කරුණු දක්වා තිබේ.
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ මෙම පැහැදිලි කිරීමත් සමඟ අධිකරණ කාර්ය මණ්ඩලය මුහුණ දුන් ගැටලුකාරි තත්ත්වය සමනය වූ අතර අනතුරුව අදාළ ඇප ලේඛන කටයුතු සාර්ථකව නිමවා ඔහුට අධිකරණ පරිශ්‍රයෙන් පිටව යෑමට අවසර ලැබිණි.
දේශීය මුදල් නෝට්ටුවල සිය අත්සන වෙනුවට නම භාවිත කළ බවට හිටපු මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේ ප්‍රථම වරටය. ඔහු කුඩා කල දෛවඥයකු ඔහුගේ අත්සන ප්‍රචලිත වන බවට මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.
ප්‍රසිද්ධියේ කළ මෙම ප්‍රකාශයත් සමඟ ඔහුගේ දීර්ඝ නිලධාරි සහ දේශපාලන ඉතිහාසය පිළිබඳව ද නැවත වරක් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට 12 වැනි මහ බැංකු අධිපතිවරයා ලෙස 2006 ජූලි 01 වැනිදා සිට 2015 ජනවාරි 08 වැනිදා දක්වා සිය පළමු ධුර කාලය හෙබවූ අතර ඔහු මෙලෙස වාර දෙකකදීම ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය. පළමු ධුර කාලයෙන් පසුව සක්‍රිය දේශපාලනයට පිවිසි ඒ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්ව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය. පසුව රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව 2021 සැප්තැම්බර් 15 වැනිදා සිට 2022 අප්‍රේල් 04 වැනිදා දක්වා දෙවැනි වරටත් මහ බැංකු අධිපති ධුරයට පත් විය.
ඔහු මෙලෙස දෙවැනි වරට ධුරය භාර ගැනීමේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ සුවිශේෂී වෙනසක් ද සිදු විය. එතෙක් මහ බැංකු අධිපතිවරයකුට හිමි නොවූ විශේෂ බලතල සහ වරප්‍රසාද රැසක් ලබා දෙමින් ‘කැබිනට් ඇමැතිවරයකුට සමාන තත්ත්වයක්’ ලබාදීමට එවකට රජය පියවර ගත්තේය. ඒ අනුව ඔහු කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා ද නිත්‍ය ලෙස සහභාගි වූ අතර එම තත්ත්වය සහ ඔහුට හිමිවූ විශේෂ වරප්‍රසාද මෙන්ම ඉහළ වැටුප් ප්රතිලාභ ද එකල දේශපාලන කරළියේ මෙන්ම මහජනතාව අතරද දැඩි විවේචනයට ලක්විය.
මෙරට ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කරමින් රට දරුණු ආර්ථික බංකොලොත්භාවයකට ඇද දැමීම සහ ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වගකිවයුත්තකු ලෙස නම් කෙරිණි.
2023 නොවැම්බර් මස ලබාදුන් එම ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ කබ්රාල් මහතා ද මෙරට ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගකිවයුත්තකු ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ග්‍රීක බැඳුම්කරයට කබ්රාල්ට අධි චෝදනා භාරදෙයි
2012 වසරේදී ග්‍රීසියේ ආර්ථිකය දැඩි ලෙස කඩාවැටී තිබිය දී, ආර්ථික වශයෙන් අධික අවදානමක් සහිත ග්‍රීක බැඳුම්කරවල නීති විරෝධි සහ වංචනික ලෙස රජයේ මුදල් ආයෝජනය කිරීමෙන් කෝටි 184කට අධික මුදලක් (රු.1,843,267,595.60) රජයට පාඩු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ඊයේ (18) අධිචෝදනා භාර දෙන ලදි.
මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතාගේ සභාපතිත්වයෙන්, මහාධිකරණ විනිසුරුවරුන් වන උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
විත්තිකාර හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිචෝදනා භාර දීමෙන් අනතුරුව නඩුව පූර්ව නඩු විභාගය සඳහා නියම කළ මහාධිකරණ විනිසුරු මඬුල්ල, විත්තිකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළේය. ඊට අමතරව විත්තිකරුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමට පියවර ගත්තේය. ඒ පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කෙරිණි. තවද විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගැනීමටත්, ඔහුගේ ඇඟිලි සටහන් ලබාගෙන පෙර වැරැදි පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුවට අදාළව විදේශ කටයුතු ඇමැති විජිත හේරත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, මහ බැංකුවේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂවරුන් වන නයනා දමයන්ති, චන්ද්‍රා නානායක්කාර සහ හිටපු මහ බැංකු ලේකම් මොහොමඩ් ඉස්තාර් ඇතුළු පුද්ගලයන් 38 දෙනකු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස දක්වා ඇති අතර, ලේඛන 28ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද නඩු පවරා තිබූ නමුත්, අනෙකුත් චුදිතයන්ට එරෙහි චෝදනා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 144 වැනි වගන්තිය යටතේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා ඉල්ලා අස්කර ගැනීමට පියවර ගැනිණි. ඒ අනුව නඩුවේ 2, 3 සහ 5 වැනි විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී. ධර්මසේන ධීරසිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ හිටපු සහකාර අධිපතිවරුන් වන එච්.ඒ. කරුණාරත්න යන අය නිදහස් කිරීමට මහාධිකරණය නියම කළ අතර, එහි 4 වැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි හිටපු සහකාර අධිපති චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන මහතා නඩුව විභාගයට ගන්නා අවස්ථාව වන විට මියගොස් සිටියේය.
නඩුව ඉවත්කර ගැනීමේදී ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු වූ රුපියල් කෝටි 184ක මුදල මාස 3ක ඇතුළත ගෙවන ලෙස විත්තිකරුට දැනුම් දුනි.
එම පැරණි නඩුවේ පළමුවැනි චුදිතයා ලෙස නම්කර සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පැවැති චෝදනා දූෂණ විරෝධි පනතේ 67 වැනි වගන්තිය ප්‍රකාරව ඉල්ලා අස්කර ගැනීම නිසා එවකට පැවැති නඩු කටයුතු මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අවසන් කරන ලදි. එලෙස නඩුව ඉල්ලා අස්කර ගන්නා අවස්ථාවේදී, ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හේතුවෙන් රජයට සිදු වූ රුපියල් කෝටි 184ක අතිවිශාල පාඩුව මාස 3ක් ඇතුළත රජයට නැවත ගෙවා පියවන ලෙස විත්තිකරුට දැනුම් දී තිබිණි. එහෙත් එම නියමිත කාලය තුළ අදාළ මුදල මහ බැංකුව වෙත පියවීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපොහොසත් වීම නිසා ඔහුට එරෙහිව නැවත වතාවක් නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙය රටේ ආර්ථිකයට බලපෑ ප්‍රමුඛ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නම් කිරීමට පියවර ගැනිණි.
නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩුවට අදාළව, ඊයේ (18) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නව අධිචෝදනා පත්‍රයක් භාර දෙනු ලැබුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පමණකි.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව අජිත් නිවාඩ්ට එරෙහිව නඩු පැවරීම සිදුව ඇත්තේ තුන්වැනි වරටය. 2014 වසරේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ ග්‍රීක බැඳුම්කර සිද්ධියට මුල් වරට නඩු පැවරීම සිදුවිය. එහිදී අධිචෝදනා පත්‍රයට අත්සන් කරන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කර නොතිබීම නිසා චෝදනා පත්‍රය නීත්‍යනුකූල නොවන බවට විත්තිය මතුකළ මූලික විරෝධතාවක් පිළිගනිමින් අධිකරණය චුදිතයන් නිදහස් කෙරිණි.
අනතුරුව මහාධිකරණ විනිසුරු මොහමඩ් මිහායිල් මහතා ඉදිරියේ 2024 වසරේ නඩු පැවරීම සිදුවිය. එහිදී අනෙකුත් විත්තිකරුවන් නිදහස්කර නැවත නඩු පැවරීමට යටත්ව අජිත් නිවාඩ් මුදා හැරිණි.
2011 වසරේ මාර්තු 11 දා සහ 2012 වසරේ නොවැම්බර් 19දා අතර කාලය තුළදී නීති විරෝධි ලෙස රජයට පාඩු කිරීමේ අරමුණින් හෝ වංක චේතනාවෙන් අයුතු ලාභයක් ලැබීමේ අරමුණෙන් ග්‍රීසිය ආර්ථික වශයෙන් කඩා වැටී තිබියදී ආර්ථික වශයෙන් අවදානම් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් 1, 843, 267, 595.60ක මුදලක් පාඩු කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පසුගිය මැයි 7දා නඩු පැවරීම කර ඇත.
ඊයේ (18) පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සමඟ කමණි ද සිල්වා සහ ගජලක්ෂ්මි සිවසුබ්‍රමනියම් යන මහත්මීහු කරුණු දැක්වූහ. එසේම ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ඔර්නෙලා සිල්වා, අමිල දිසානායක සහ නිශ්ශංක පීරිස් යන මහත්ම මහත්මීහුද පැමිණිල්ල මෙහෙයවීම සඳහා එක්ව සිටියහ.
මෙම නඩුව ලබන ජූලි මස 01 වැනිදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.
චන්දන ජයවීර
