ඇප ගන්න කබ්රාල් තැබූ අත්සන වෙනස් – මහාධිකරණයේ නිරීක්ෂණයට

කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පවරා තිබූ අල්ලස් නඩු­ව­කට අදා­ළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇප බැඳු­ම්ක­ර­යට තැබූ අත්සන හේතු­වෙන් මහා­ධි­ක­රණ කාර්ය මණ්ඩ­ලය දැඩි විම­ති­ය­කට මෙන්ම ගැට­ලු­කාරි තත්ත්ව­ය­කට පත්වීමේ පුව­තක් ඊයේ (18) අධි­ක­රණ පරි­ශ්‍ර­යෙන් වාර්තා විය.

තමන්ට නියම වූ ඇප කොන්දේසි සපු­රා­ලීම සඳහා කබ්රාල් මහතා ඇප බැඳු­ම්ක­ර­යට අත්සන් තබනු ලැබූ අතර එහිදී ඔහු යෙදූ අත්සන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් නෝට්ටු­වල දැක්වෙන ඔහුගේ සුප්‍ර­කට අත්ස­නට වඩා සපුරා වෙනස් එකක් බව මහා­ධි­ක­රණ කාර්ය මණ්ඩ­ලයේ තියුණු නිරී­ක්ෂ­ණ­යට ලක්ව ඇත.

මේ පිළි­බඳ අධි­ක­රණ නිල­ධා­රීන් විසින් වහාම විත්ති­කාර හිටපු මහ බැංකු අධි­ප­ති­ව­ර­යා­ගෙන් විම­සී­මක් කර තිබේ. එහිදී සිනා­සෙ­මින් පිළි­තුරු දී ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, මුදල් නෝට්ටු­වල දැක්වෙන්නේ තමන්ගේ අත්සන නොව තමන්ගේ නම බවත් ඇප අය­දු­ම්පත සඳහා යොදනු ලැබුවේ තමන්ගේ සාමාන්‍ය නිල රාජ­කාරි අත්සන බවත් ප්‍රකාශ කර ඇත.

තමන් මුදල් නෝට්ටු­වල නම අත්ස­නක් ලෙස යෙදූ බවත් මේ ආකාර දෙක­ටම අත්සන් කරන බවට විත්ති­කරු කරුණු දක්වා තිබේ.

හිටපු මහ බැංකු අධි­ප­ති­ව­ර­යාගේ මෙම පැහැ­දිලි කිරී­මත් සමඟ අධි­ක­රණ කාර්ය මණ්ඩ­ලය මුහුණ දුන් ගැට­ලු­කාරි තත්ත්වය සම­නය වූ අතර අන­තු­රුව අදාළ ඇප ලේඛන කට­යුතු සාර්ථ­කව නිමවා ඔහුට අධි­ක­රණ පරි­ශ්‍ර­යෙන් පිටව යෑමට අව­සර ලැබිණි.

දේශීය මුදල් නෝට්ටු­වල සිය අත්සන වෙනු­වට නම භාවිත කළ බවට හිටපු මහ බැංකු අධි­ප­ති­ව­රයා අනා­ව­ර­ණය කළේ ප්‍රථම වර­ටය. ඔහු කුඩා කල දෛව­ඥ­යකු ඔහුගේ අත්සන ප්‍රච­ලිත වන බවට මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.

ප්‍රසි­ද්ධියේ කළ මෙම ප්‍රකා­ශ­යත් සමඟ ඔහුගේ දීර්ඝ නිල­ධාරි සහ දේශ­පා­ලන ඉති­හා­සය පිළි­බ­ඳව ද නැවත වරක් සමා­ජය තුළ දැඩි කතා­බ­හක් නිර්මා­ණය වී තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට 12 වැනි මහ බැංකු අධි­ප­ති­ව­රයා ලෙස 2006 ජූලි 01 වැනිදා සිට 2015 ජන­වාරි 08 වැනිදා දක්වා සිය පළමු ධුර කාලය හෙබවූ අතර ඔහු මෙලෙස වාර දෙක­ක­දීම ශ්‍රී ලංකා මහ බැංකු අධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළේය. පළමු ධුර කාල­යෙන් පසුව සක්‍රිය දේශ­පා­ල­න­යට පිවිසි ඒ මහතා, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස ජාතික ලැයි­ස්තු­වෙන් පත්ව මුදල්, ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ සහ රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ රාජ්‍ය ඇමැ­ති­ව­රයා ලෙස ද කට­යුතු කළේය. පසුව රාජ්‍ය ඇමැති ධුර­යෙන් සහ මන්ත්‍රී ධුර­යෙන් ඉල්ලා අස්ව 2021 සැප්තැ­ම්බර් 15 වැනිදා සිට 2022 අප්‍රේල් 04 වැනිදා දක්වා දෙවැනි වර­ටත් මහ බැංකු අධි­පති ධුර­යට පත් විය.

ඔහු මෙලෙස දෙවැනි වරට ධුරය භාර ගැනී­මේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉති­හා­සයේ සුවි­ශේෂී වෙන­සක් ද සිදු විය. එතෙක් මහ බැංකු අධි­ප­ති­ව­ර­ය­කුට හිමි නොවූ විශේෂ බල­තල සහ වර­ප්‍ර­සාද රැසක් ලබා දෙමින් ‘කැබි­නට් ඇමැ­ති­ව­ර­ය­කුට සමාන තත්ත්ව­යක්’ ලබා­දී­මට එව­කට රජය පිය­වර ගත්තේය. ඒ අනුව ඔහු කැබි­නට් මණ්ඩල රැස්වීම් සඳහා ද නිත්‍ය ලෙස සහ­භාගි වූ අතර එම තත්ත්වය සහ ඔහුට හිමිවූ විශේෂ වර­ප්‍ර­සාද මෙන්ම ඉහළ වැටුප් ප්‍රති­ලාභ ද එකල දේශ­පා­ලන කර­ළියේ මෙන්ම මහ­ජ­න­තාව අත­රද දැඩි විවේ­ච­න­යට ලක්විය.

මෙරට ආර්ථි­කය වැරදි ලෙස කළ­ම­නා­ක­ර­ණය කර­මින් රට දරුණු ආර්ථික බංකො­ලො­ත්භා­ව­ය­කට ඇද දැමීම සහ ඒ හරහා ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වග­කි­ව­යු­ත්තකු ලෙස නම් කෙරිණි.

2023 නොවැ­ම්බර් මස ලබා­දුන් එම ඓති­හා­සික ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව මඟින් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ, හිටපු මුදල් ඇමැ­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ සහ බැසිල් රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන් සමඟ කබ්රාල් මහතා ද මෙරට ආර්ථික අර්බු­දයේ ප්‍රධාන වග­කි­ව­යු­ත්තකු ලෙස ප්‍රකා­ශ­යට පත් කෙරිණි.

ග්‍රීක බැඳුම්කරයට කබ්රාල්ට අධි චෝද­නා­ භා­ර­දෙයි

2012 වස­රේදී ග්‍රීසියේ ආර්ථි­කය දැඩි ලෙස කඩා­වැටී තිබිය දී, ආර්ථික වශ­යෙන් අධික අව­දා­න­මක් සහිත ග්‍රීක බැඳු­ම්ක­ර­වල නීති විරෝධි සහ වංච­නික ලෙස රජයේ මුදල් ආයෝ­ජ­නය කිරී­මෙන් කෝටි 184කට අධික මුද­ලක් (රු.1,843,267,595.60) රජ­යට පාඩු කිරීමේ චෝද­නා­වට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව කොළඹ විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රි­යේදී ඊයේ (18) අධි­චෝ­දනා භාර දෙන ලදි.

මහා­ධි­ක­රණ විනි­සුරු මනෝජ් තල්ගො­ඩ­පි­ටිය මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන්, මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන උදේශ් රණ­තුංග සහ බුද්ධික සී. රාගල යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ මෙම නඩුව කැඳ­වනු ලැබීය.

විත්ති­කාර හිටපු මහ බැංකු අධි­ප­ති­ව­ර­යාට අධි­චෝ­දනා භාර දීමෙන් අන­තු­රුව නඩුව පූර්ව නඩු විභා­ගය සඳහා නියම කළ මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල, විත්ති­කරු රුපි­යල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා­හැ­රී­මට නියෝග කළේය. ඊට අම­ත­රව විත්ති­ක­රුට වහාම ක්‍රියා­ත්මක වන පරිදි විදේශ ගමන් තහ­න­මක් පැන­වී­මට පිය­වර ගත්තේය. ඒ පිළි­බඳ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව දැනු­වත් කරන ලෙස මහා­ධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­රි­යට නියෝග කෙරිණි. තවද විත්ති­ක­රුගේ විදේශ ගමන් බල­ප­ත්‍රය අධි­ක­රණ භාර­යට ගැනී­ම­ටත්, ඔහුගේ ඇඟිලි සට­හන් ලබා­ගෙන පෙර වැරැදි පරී­ක්ෂාව සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කිරී­ම­ටත් විනි­සුරු මඬුල්ල විසින් වැඩි­දු­ර­ටත් නියෝග කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩු­වට අදා­ළව විදේශ කට­යුතු ඇමැති විජිත හේරත්, සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ, මහ බැංකුවේ ජාත්‍ය­න්තර සම්බ­න්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර අධ්‍ය­ක්ෂ­ව­රුන් වන නයනා දම­යන්ති, චන්ද්‍රා නානා­ය­ක්කාර සහ හිටපු මහ බැංකු ලේකම් මොහො­මඩ් ඉස්තාර් ඇතුළු පුද්ග­ල­යන් 38 දෙනකු පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් ලෙස දක්වා ඇති අතර, ලේඛන 28ක් නඩු භාණ්ඩ ලෙස ඉදි­රි­පත් කර තිබේ.

මෙම සිද්ධි­යට අදා­ළව මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්ති­ක­රු­වන් පස්දෙ­න­කුට එරෙ­හිව අල්ලස් කොමි­සම මීට පෙරද නඩු පවරා තිබූ නමුත්, අනෙ­කුත් චුදි­ත­යන්ට එරෙහි චෝදනා අප­රාධ නඩු විධි­වි­ධාන සංග්‍ර­හයේ 144 වැනි වග­න්තිය යටතේ පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 10 වැනිදා ඉල්ලා අස්කර ගැනී­මට පිය­වර ගැනිණි. ඒ අනුව නඩුවේ 2, 3 සහ 5 වැනි විත්ති­ක­රු­වන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය අධි­ප­ති­ව­රුන් වන කේ.ඩී. ධර්ම­සේන ධීර­සිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ හිටපු සහ­කාර අධි­ප­ති­ව­රුන් වන එච්.ඒ. කරු­ණා­රත්න යන අය නිද­හස් කිරී­මට මහා­ධි­ක­ර­ණය නියම කළ අතර, එහි 4 වැනි වග­උ­ත්ත­ර­කරු ලෙස නම් කර සිටි හිටපු සහ­කාර අධි­පති චන්ද්‍ර­සිරි ජය­සිංහ පණ්ඩිත සිරි­ව­ර්ධන මහතා නඩුව විභා­ග­යට ගන්නා අව­ස්ථාව වන විට මිය­ගොස් සිටි­යේය.

නඩුව ඉව­ත්කර ගැනී­මේදී ග්‍රීක බැඳු­ම්කර මිලදී ගැනී­මෙන් රජ­යට පාඩු වූ රුපි­යල් කෝටි 184ක මුදල මාස 3ක ඇතු­ළත ගෙවන ලෙස විත්ති­ක­රුට දැනුම් දුනි.

එම පැරණි නඩුවේ පළ­මු­වැනි චුදි­තයා ලෙස නම්කර සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට එරෙ­හිව පැවැති චෝදනා දූෂණ විරෝධි පනතේ 67 වැනි වග­න්තිය ප්‍රකා­රව ඉල්ලා අස්කර ගැනීම නිසා එව­කට පැවැති නඩු කට­යුතු මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහා­යිල් මහතා විසින් අව­සන් කරන ලදි. එලෙස නඩුව ඉල්ලා අස්කර ගන්නා අව­ස්ථා­වේදී, ග්‍රීක බැඳු­ම්කර මිලදී ගැනීම හේතු­වෙන් රජ­යට සිදු වූ රුපි­යල් කෝටි 184ක අති­වි­ශාල පාඩුව මාස 3ක් ඇතු­ළත රජ­යට නැවත ගෙවා පිය­වන ලෙස විත්ති­ක­රුට දැනුම් දී තිබිණි. එහෙත් එම නිය­මිත කාලය තුළ අදාළ මුදල මහ බැංකුව වෙත පිය­වී­මට අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපො­හො­සත් වීම නිසා ඔහුට එරෙ­හිව නැවත වතා­වක් නඩු පැව­රී­මට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව තීර­ණය කළේය.

ඒ අනුව එම කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් රංග දිසා­නා­යක මහතා අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහ­තා­ගෙන් කළ විශේෂ ඉල්ලී­ම­කට අනුව මෙය රටේ ආර්ථි­ක­යට බලපෑ ප්‍රමුඛ නඩු කට­යු­ත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා මෙම විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය නම් කිරී­මට පිය­වර ගැනිණි.

නැවත නඩු පැව­රීමේ අයි­තිය රඳවා ගනි­මින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු­වට අදා­ළව, ඊයේ (18) කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ නව අධි­චෝ­දනා පත්‍ර­යක් භාර දෙනු ලැබුවේ හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට එරෙ­හිව පම­ණකි.

ග්‍රීක බැඳු­ම්කර සිද්ධි­යට අදා­ළව අජිත් නිවාඩ්ට එරෙ­හිව නඩු පැව­රීම සිදුව ඇත්තේ තුන්වැනි වර­ටය. 2014 වසරේ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා හමුවේ ග්‍රීක බැඳු­ම්කර සිද්ධි­යට මුල් වරට නඩු පැව­රීම සිදු­විය. එහිදී අධි­චෝ­දනා පත්‍ර­යට අත්සන් කරන අව­ස්ථා­වේදී අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යකු පත්කර නොති­බීම නිසා චෝදනා පත්‍රය නීත්‍ය­නු­කූල නොවන බවට විත්තිය මතු­කළ මූලික විරෝ­ධ­තා­වක් පිළි­ග­නි­මින් අධි­ක­ර­ණය චුදි­ත­යන් නිද­හස් කෙරිණි.

අන­තු­රුව මහා­ධි­ක­රණ විනි­සුරු මොහ­මඩ් මිහා­යිල් මහතා ඉදි­රියේ 2024 වසරේ නඩු පැව­රීම සිදු­විය. එහිදී අනෙ­කුත් විත්ති­ක­රු­වන් නිද­හ­ස්කර නැවත නඩු පැව­රී­මට යටත්ව අජිත් නිවාඩ් මුදා හැරිණි.

2011 වසරේ මාර්තු 11 දා සහ 2012 වසරේ නොවැ­ම්බර් 19දා අතර කාලය තුළදී නීති විරෝධි ලෙස රජ­යට පාඩු කිරීමේ අර­මු­ණින් හෝ වංක චේත­නා­වෙන් අයුතු ලාභ­යක් ලැබීමේ අර­මු­ණෙන් ග්‍රීසිය ආර්ථික වශ­යෙන් කඩා වැටී තිබි­යදී ආර්ථික වශ­යෙන් අව­දා­නම් ග්‍රීක බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රුපි­යල් 1, 843, 267, 595.60ක මුද­ලක් පාඩු කිරීමේ චෝද­නාව යටතේ අල්ලස් කොමි­සම පසු­ගිය මැයි 7දා නඩු පැව­රීම කර ඇත.

ඊයේ (18) පැවැති නඩු විභා­ග­යේදී පැමි­ණිල්ල වෙනු­වෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ සහ­කාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බ­න්ධ­ප්පෙ­රුම මහ­ත්මිය සමඟ කමණි ද සිල්වා සහ ගජ­ලක්ෂ්මි සිව­සු­බ්‍ර­ම­නි­යම් යන මහ­ත්මීහු කරුණු දැක්වූහ. එසේම ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ඔර්නෙලා සිල්වා, අමිල දිසා­නා­යක සහ නිශ්ශංක පීරිස් යන මහත්ම මහ­ත්මී­හුද පැමි­ණිල්ල මෙහෙ­ය­වීම සඳහා එක්ව සිටි­යහ.

මෙම නඩුව ලබන ජූලි මස 01 වැනිදා යළි කැඳ­වී­මට ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල නියෝග කළේය.

චන්දන ජය­වීර

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading