ඊශ්‍රායලයේ නාවික සම්බාධකවලට අභියෝග කරමින් ගාසා තීරය වෙත යාත්‍රා කළ ක්‍රියාකාරීන්ගේ මෙහෙයුමකට ඊශ්‍රායල නාවික හමුදාව 18 වැනි සදුදා දින බාධා කළේය. මීට සති කිහිපයකට පෙර ද මෙවැනිම යාත්‍රා කණ්ඩායමක් ව්‍යර්ථ කර එහි ක්‍රියාකාරීන් දෙදෙනෙකු රඳවා ගනු ලැබීය.
‘Global Sumud Flotilla’ හි සංවිධායකයින් ගාසා වෙරළට යන ගමනේ අවසන් අදියර ලෙස විස්තර කළ මෙම මෙහෙයුම සඳහා යාත්‍රා 50 කට වැඩි ප්‍රමාණයක් පසුගිය සතියේ තුර්කියේ මාමරිස් (Marmaris) වරායෙන් පිටත් විය.
ශ්‍රී ලාංකික සහභාගිකාරියක වන සමීරා මහබූබ්දීන් (Sameera Mahboobdeen) ද මෙම නාවික කණ්ඩායමට ඇතුළත් බව වාර්තා වන අතර, මේ වන විට ඇයට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් දැනගන්නට නොමැත.
සයිප්‍රස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී Global Sumud Flotilla හි පළමු යාත්‍රා වෙත නාවික කමාන්ඩෝ භටයින් ගොඩවන ආකාරය සඳුදා සජීවී විකාශයකින් පෙන්නුම් කළ අතර, පසුව එම විකාශය හදිසියේම අවසන් විය.
දහවල් වන විට ඔවුන් යාත්‍රා හයක් සිය භාරයට ගෙන තිබුණි.
“යුද නැව් මේ වන විට අපගේ යාත්‍රා කණ්ඩායමට බාධා කරමින් සිටින අතර, මහ දවාලේ (ඊශ්‍රායල) හමුදා අපගේ පළමු බෝට්ටුවලට ගොඩවෙමින් සිටිති” යැයි Global Sumud Flotilla විසින් X හි සටහන් කර තිබුණි.
“අපගේ නීත්‍යානුකූල, අවිහිංසාවාදී මානුෂීය මෙහෙයුම සඳහා ආරක්ෂිත මාර්ගයක් අපි ඉල්ලා සිටිමු.”
ඊශ්‍රායලය විසින් මෙම යාත්‍රා කණ්ඩායම අතරමග නවතා දැමීම තුර්කිය විසින් හෙළා දුටු අතර, එය “නව මුහුදු මංකොල්ලකෑමක්” බව ප්‍රකාශ කළේය.
“ඊශ්‍රායලය වහාම සිය මැදිහත්වීම නතර කළ යුතු අතර රඳවාගෙන සිටින ක්‍රියාකාරීන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය” යනුවෙන් තුර්කි විදේශ අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙන අතර, “වෙනත් රටවල් සමඟ සහයෝගයෙන් මෙම ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් පවතින” බව ද එහි සඳහන් විය.
මේ අතර ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ තජානි (Antonio Tajani) පැවසුවේ, යාත්‍රා කණ්ඩායමේ සිටින ඉතාලි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඊශ්‍රායලයේ, තුර්කියේ සහ සයිප්‍රසයේ පිහිටි තම රටේ තානාපති කාර්යාල ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇති බවයි.
මීට පෙර, “මෙම ප්‍රකෝප කිරීමේ ක්‍රියාවට සම්බන්ධ වූවන්ට වහාම ගමන් මග වෙනස් කර ආපසු හැරෙන ලෙස” ඊශ්‍රායලය අනතුරු ඇඟවීය.
“නැවත වරක්, ප්‍රකෝප කිරීමේ අරමුණින්ම කළ ප්‍රකෝප කිරීමක්: මානුෂීය ආධාර කිසිවක් නොමැති තවත් ‘මානුෂීය ආධාර යාත්‍රා කණ්ඩායමක්’ ” යැයි ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය X හි පළ කළේය. සිදුවෙමින් පවතින මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වීම ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කළේය.
තමන් රැගෙන ආ සංකේතාත්මක සුළු ආධාර ප්‍රමාණය ඊශ්‍රායලයට හෝ ජාත්‍යන්තර සංවිධානවලට භාර දී නිල මාර්ග හරහා ගාසා තීරයට බෙදා හැරීමට කළ ඉල්ලීම් සංවිධායකයින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඊශ්‍රායලය මීට පෙර ද මෙවැනි යාත්‍රා කණ්ඩායම් හුදෙක් ප්‍රසිද්ධිය ලබාගැනීමේ උපක්‍රම (publicity stunts) ලෙස හඳුන්වා ප්‍රතික්ෂේප කර තිබුණි.
2023 ඔක්තෝම්බර් මාසයේදී පලස්තීන ත්‍රස්ත කණ්ඩායමක් ඊශ්‍රායලයට ආක්‍රමණය කිරීමෙන් පසු වසර දෙකක යුද්ධයක් ඇති වූ අතර, එතැන් සිට දැඩි ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන හිඟයකින් පෙළෙන, හමාස් සංවිධානය විසින් පාලනය කරන ගාසා තීරයට පනවා ඇති ඊශ්‍රායල සම්බාධක බිඳ දැමීමේ අරමුණින් වසරක් තුළ ගෙන ආ තෙවැනි මුලපිරීම මෙය (Global Sumud Flotilla) වේ.
මෙම යාත්‍රා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ තුර්කි ආධාර සංවිධානයක් වන IHH විසිනි. එය ඊශ්‍රායලය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අතර 2010 දී ගාසා තීරය වෙත ගමන් ගත් Mavi Marmara යාත්‍රා කණ්ඩායම ද සංවිධානය කළේ ඔවුන් විසිනි.
අප්‍රේල් 30 වන දින ග්‍රීසියට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල හමුදා දෙවන යාත්‍රා කණ්ඩායම අත්පත් කර ගත් අතර ක්‍රියාකාරීන් 175 දෙනෙකුගෙන් බහුතරයක් යුරෝපයට යැවූ නමුත් ඔවුන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දින 10 ක් රඳවා තබාගෙන පසුව පිටුවහල් කරන ලදී.
සංවිධායකයින් පැවසුවේ, ඊශ්‍රායලයේ මැදිහත්වීමෙන් පසු යළි එකතු වූ යාත්‍රා කණ්ඩායමක් අතිරේක බෝට්ටු ද සමඟින් මෙම නවතම උත්සාහයට සම්බන්ධ වී ඇති බවයි. රටවල් 45 ක ක්‍රියාකාරීන් 500 කට ආසන්න පිරිසක් මීට සහභාගී වන බව පැවසේ.
සම්බාධක බිඳ දැමීමට මීට පෙර ගත් උත්සාහයන් ද අසාර්ථක වී ඇත. ක්‍රියාකාරීන්ගේ බෝට්ටුවක් සාර්ථකව ගාසා තීරයට ළඟා වූ අවසන් අවස්ථාව 2008 දී වාර්තා විය.
(Newswire ඇසුරිනි.)
