වීරවංශ ඇතුළු පිරිසකගේ නඩුවක් ජුලි 13 වැනිදාට යළි කැඳවීමට නියෝග

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කර මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි මස 13 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කර තිබේ.

2016 පෙබරවාරි 6 වැනි දින ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ලංකා සංචාරයට විරෝධය පළ කරමින් කොළඹ, තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නිරත වීමට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න සහ පියසිරි විජේනායක යන මහත්වරුන් අද (18) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුවේ සාක්ෂිකරුවකු වන පොලිස් පරීක්ෂක ඉන්දික මහතා මීට පෙර නඩු දිනයකදී අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ, මහජනතාවට සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් මහා මාර්ගය අවහිර කරමින් සැකකරුවන් ඇතුළු 600 කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බවයි.

ඒ අනුව ඉදිරි සාක්ෂි විභාගය සඳහා නඩුව ජුලි මස 13 වනදා දක්වා කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading