දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කර තිබේ.
නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් මඟින් මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර චාමර සම්පත් දසනායක අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකාර මන්ත්‍රීවරයාට විදේශ සංචාරයක නිරත වීමේ අත්‍යවශ්‍යතාවක් පවතින බව දන්වා තිබේ. අනුව ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නීතිඥවරයා කළ ඉල්ලීම සහ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය, අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට තීරණය කළේය.
2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, එම පළාත් සභාව සඳහා රේඛනය කර තිබූ චෙක්පතක් සිය පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ගැනීම තුළින් මන්ත්‍රීවරයා ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
