ජගත් සමන්තට ලබාදුන් මහාධිකරණ තීන්දුව පසසමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් මාධ්‍ය නිවේදනයක් !

2007 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කිරීම සහ තර්ජනය කිරීම ඇතුළු චෝදනාවලට වැරදිකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර පහකුත් මාස හයක සිර දඬුවමක් පැනවීමටත්, වින්දිත නිලධාරියා වෙත රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවීමටත් හලාවත මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් අගය කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, චූදිත පාර්ශවයේ දේශපාලන පසුබිම කුමක් වුවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව සනාථ කරමින් ලබාදුන් මෙම තීන්දුව, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය නැවත වරක් ප්‍රමුඛව සනිටුහන් කරන බවත්, මේ හරහා අයුතු දේශපාලන බලපෑම්වලින් තොරව, රාජ්‍ය නිලධාරීන්ට තම නිල රාජකාරීන් ස්වාධීනව සහ නිර්භයව ඉටු කිරීමට ඇති අයිතිය තහවුරු කර ඇති බවත් ය.

රාජ්‍ය සේවයේ වෘත්තීය ගරුත්වය කෙලෙසමින්, නිලධාරීන් අනීතික ලෙස පාලනය කිරීමට උත්සාහ කරන සියලු පාර්ශවයන් වෙත ගරු අධිකරණය විසින් ලබාදුන් මෙම පණිවිඩය, යහපත් සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් උදෙසා අත්‍යවශ්‍ය වන බවත්, නීතියේ ආධිපත්‍යය ගරු කරන දියුණු සමාජයක් බිහිකිරීම උදෙසා, මෙම තත්ත්වය අවබෝධ කරගනිමින් දේශපාලන හා සිවිල් ක්‍රියාධරයන් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇති බව තම සංගමයේ අපේක්ෂාව වන බවත් එම සංගමය වැඩිදුරටත් එම මාධ්‍ය නිවේදනය මඟින් පෙන්වා දෙනු ලැබ තිබෙනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙරට සමස්ත රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවය, වෘත්තීය අභිමානය හා නිදහස් මෙන්ම ස්වාධීන රාජ්‍ය සේවයක් රට තුළ තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිරන්තරයෙන්ම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග සඳහා සංගමයේ නොමඳ සහයෝගය ඉදිරියටත් හිමි වන බවත් ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading