ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා දෙකක්! ඩුබායි වංචාවෙන් පාඩුවක් නැහැලු! චෙන්නායි වංචාවේ පාඩුව අය කරගන්නවාලු!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක් වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක් සිදුව ඇති නමුත් මූල්‍යමය පාඩුවක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෙසේ නමුත්, ඉන්දියාවේදී සිදුව ඇති මූල්‍ය වංචාවකට අදාලව පාඩුව අය කර ගැනීමට කටයුතු කරන බව එම නිවේදනයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දී තිබේ.

මෙම ගනුදෙනුවට අදාළව අරමුදල් වෙනත් අතකට යොමු කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමත් සමග මෙම සිදුවීම පිළිබද අවධානය යොමු වී තිබුණි.

වාර්තා වන අන්දමට මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ඩුබායි හි සේවා සපයන්නෙකු වෙත යැවීමට සූදානම් කළ ඩිරාම් 974,000 ක (ඇමරිකානු ඩොලර් 220,000 කට ආසන්න / ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 ක පමණ) මුදලක් අබුඩාබි ඉස්ලාමික් බැංකුවේ (Abu Dhabi Islamic Bank) වෙනත් ගිණුමකට මාරු වී ඇත.

තුන්වන පාර්ශවයක් විසින් අදාළ ඩුබායි සමාගමේ ඊමේල් පද්ධතිය හැක් කර, ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර වංචනික ලෙස වෙනස් කර ඇත. අනතුරුව නිල සන්නිවේදන මාර්ග හරහාම අමතර ලිඛිත සාක්ෂි සහ බලයලත් අත්සන් සහිත ලේඛන ගුවන් සේවයට එවා ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම ගෙවීම් සිදුකර ඇත්තේ ඒවා නීත්‍යානුකූල ලියකියවිලි යැයි විශ්වාස කරමිනි.

2026 මැයි 16 දිනැති මාධ්‍ය නිවේදනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි මෙසේ සදහන් වෙයි.

“මෙම ගෙවීම සිදුකරන ලද්දේ ඊමේල් මඟින් ලබාදෙන ලද උපදෙස් සහ ඊට අදාළ බලයලත් අත්සන් සහිත ලිපිලේඛන මත පදනම්ව බවත්, මෙම උපදෙස් ලබා දී ඇත්තේ සැපයුම්කරුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වූ වෙනත් පාර්ශවයක් විසින් බව අනාවරණය වූයේ අදාළ ගෙවීම සිදුකිරීමෙන් පසුව බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අවධාරණය කර සිටී. තවද මෙම තත්ත්වය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිරව, සේවා සම්පාදකයාගේ ඊමේල් පද්ධතියේ අනාරක්ෂිත බව හේතුවෙන් උද්ගත වූවක් බැවින්, අදාළ මුදල් නොලැබීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීම ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.”

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරාද සන්ඩේ මෝනිං වෙත අදහස් දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පද්ධති කිසිදු හැක් වීමකට ලක්ව නොමැති බව ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පුවත්පත් වෙත අදහස් දක්වමින්, මෙය ගුවන් සමාගමේ වරදක් නොවන බැවින් සහ ඔවුන් නිසි පරිදි ගෙවීම් කර ඇති බැවින් අදාළ සැපයුම්කරු විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔවුන්ගේ ණයගැති ලැයිස්තුවෙන් ඉවත් කර එම මුදල ගළපා ඇති බවයි. එබැවින් ජාතික ගුවන් සේවයට මින් කිසිදු මූල්‍යමය පාඩුවක් සිදුවී නොමැත.

මේ වන විට ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් ද මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

ඊට අමතරව, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයේ මූල්‍ය අංශයේ සේවය කළ ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකු විසින් සිදු කළ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් ද මේ වන විට අනාවරණය වී තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිල නිවේදනය මගින් ද මේ බව තහවුරු කර ඇත.

අදාළ සේවකයින් (සියලු දෙනාම ඉන්දියානු ජාතිකයින්) විසින් කලක් තිස්සේ ඉන්වොයිසි, ගෙවීම් තොරතුරු සහ අත්සන් ආදිය වංචනික ලෙස වෙනස් කරමින් ඉන්දීය රුපියල් මිලියන 22 ක මුදලක් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

ගුවන් සේවයේ නිල නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයට මෙම අසාමාන්‍ය ගෙවීම් නිරීක්ෂණය වීමෙන් අනතුරුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පරීක්ෂණ ආරම්භ වීමත් සමග චෝදනාවට ලක්වී සිටි අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් වළකී ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මේ පිළිබඳව අදාළ ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට වහාම පැමිණිලි කර ඇති අතර, දැනට ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී. ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගෙන මෙම වංචාව නිසා සිදුවූ අලාභය පියවා ගැනීමට (අයකර ගැනීමට) අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ජාතික ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading