ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී රුපියල් ලක්ෂ 98කට අධික රජයේ මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (14) නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද දීර්ඝ හා සූක්ෂ්ම විමර්ශනයකින් අනතුරුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළ ප්‍රධාන චෝදනාව වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ‘User Management Module’ නමැති මෘදුකාංගය මිලදීගෙන ස්ථාපනය කිරීම වෙනුවෙන් රුපියල් 9,831,250ක විශාල මුදලක් ගෙවා තිබියදී, අදාළ මෘදුකාංගය ලබා නොගෙන සහ එය පද්ධතියට ස්ථාපනය නොකර වංචාකාරී ලෙස රජයේ මුදල් ලබාගැනීමයි.
මෘදුකාංගය සැපයූ බවට ව්‍යාජ ලෙස පෙන්වා දෙමින් සිදුකළ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අදාළ තොරතුරු තාක්ෂණ නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරුණු වාර්තා කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති මෙම පැමිණිලිවලට අදාළව ඔහුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
