මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද (14) ප්රතික්ෂේප කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම නියෝගය ප්රකාශයට පත් කර ඇත.
මෙම නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව එල්ල වී ඇති කුමන්ත්රණය කිරීමේ චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්කය පදනම් විරහිත බවයි.
ඒ අනුව, අදාළ මූලික විරෝධතාව ප්රතික්ෂේප කළ විනිසුරුවරයා, මෙම චෝදනාව යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සිය තීන්දුව මගින් අවධාරණය කර තිබේ.
මූලික විරෝධතාව ප්රතික්ෂේප වීමෙන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහි චෝදනා පත්රය විවෘත අධිකරණයේදී කියවා දීම සිදු ව ඇති අතර, එහිදී විත්ති කූඩුවේ සිටි ඔහු තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව ප්රකාශ කර ඇත. ඒ අනුව, මෙම සිද්ධියට අදාළ නඩු විභාගය නිල වශයෙන් ආරම්භ කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවේ ප්රධාන චෝදනාව වන්නේ රුපියල් මිලියන ගණනක මුදල් වැය කරමින් ‘කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්’ (CSN) නාලිකාව ආරම්භ කිරීමේදී එම මුදල් උපයාගත් ආකාරය හෙළි නොකිරීම සහ එම මුදල් විශුද්ධිකරණයට ලක් කිරීමයි.
මීට අමතරව, නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් ආයෝජනය කරමින් එවැනි ව්යාපාරික ආයතනයක් පවත්වාගෙන යාම සඳහා කුමන්ත්රණය කිරීම යන චෝදනාව ද ඔහුට එරෙහිව මෙහිදී එල්ල කර තිබේ.
මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර ඇති තවත් ප්රධාන චෝදනාවක් වන්නේ, 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා වූ කාලසීමාව තුළ උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කර තිබීමයි. එම ක්රියාව හරහා විත්තිකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කරමින් එම පනතේ ප්රතිපාදන උල්ලංඝනය කර ඇති බවටද මෙහිදී වැඩිදුරටත් චෝදනා එල්ල වී තිබේ.
