පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්, වර්තමානයේ රජය සතු දේපලක් ලෙස පවතින මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහ නිවස ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අත්පත් කරගෙන තිබේ.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර ඉඩකඩ සහ යටිතල පහසුකම් හිඟයට විසඳුමක් ලෙස මෙම දේපල යොදාගන්නා ලෙසත් වහාම උසස් අධ්‍යාපන කටයුතු සඳහා පවරා ගන්නා ලෙසත් බලකරමින් මෙම පිරිස අද (14) දහවල් අදාළ පරිශ්‍රය ඉදිරිපිටදී දින විරෝධතාවක නිරත විය.
විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ඉඩකඩ හිඟය පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට පසුගිය සති කිහිපය පුරා පෝස්ටර් ව්‍යාපාර සහ සාකච්ඡා මාර්ග ඔස්සේ උත්සාහ කළ ද, රජයෙන් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම තීරණාත්මක පියවර ගත් බව අන්තරේ නියෝජිතයෝ පවසයි.
මෙහිදී අදහස් දැක්වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කළේ, වත්මන් රජය බලයට පත්වීමේදී ජනතාවගෙන් සොරකම් කරන ලද බව කියන දේපළ යළි ජනසතු කරන බවට ලබාදුන් පොරොන්දුව වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි.
වසර ගණනාවක් තිස්සේ නඩු විභාගවලට ලක්ව ඇති, එහෙත් අවසානයේ තමන්ට අයිති නැතැයි දේශපාලනඥයන් පවසන මෙවැනි දේපළ පොදු මහජන අයිතියට පවරා ගැනීමට රජය මැලි නොවිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
මැතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ දූෂිත දේශපාලනඥයන් සතු බව කියන දේපළ යළි ජනසතු කරන බවයි. කෙසේ වෙතත්, බලයේ සිටින ආණ්ඩුවකට පවත්නා අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව මෙවැනි දේපළක් ක්ෂණිකව පවරා ගැනීමට නීතිමය බාධාවන් පැවතිය හැකිය.
එවැනි පසුබිමක, තමන්ට හිතවාදී ශිෂ්‍ය සංගමයක් ලවා මෙවැනි දේපළකට ඇතුළු වීම හෝ එය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම හරහා, අදාළ දේපළ රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය ජනතා ඉල්ලීම සහ සදාචාරාත්මක පදනම සකස් කරන බවක් මෙයින් පෙනී යයි. මෙම ක්රියාවේ තීරණය ආවේ පක්ෂයෙන්ම නම් මෙවැනි ක්‍රියාවන්හි ප්‍රතිපලය රජයට අයහපත් එකක් මිස යහපත් එකක් නම් නොවන බව නිසැකය.
විශේෂයෙන්ම 2022 මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, මල්වානේ පිහිටි මෙම සුඛෝපභෝගී නිවසට කඩා වැදුණු පිරිස් එයට ගිනි තබා ඇත. එදින රාත්‍රියේ ප්‍රකෝප වූ පිරිස් නිවසට ඇතුළු වී එහි තිබූ වටිනා භාණ්ඩවලට හානි කර ගිනි තැබීම නිසා නිවසේ සමස්ත ව්‍යුහයට සහ අභ්‍යන්තරයට හානි සිදු වී ඇති අතර, එතැන් සිට වසර දෙකකට වැඩි කාලයක් මෙම දේපළ කිසිදු නඩත්තු කිරීමකින් තොරව පැවතුණි.
බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් මෙම දේපළ තමන්ට අයිති නැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ, එය හිමිකරුවෙකු නොමැති දේපළක් ලෙස සලකා රජයට පවරාගෙන වෙන්දේසි කරන ලෙස 2016 ඔක්තෝබර් 14 වන දින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එලෙස පවරා ගැනීමට නියෝග කෙරුණ ද, පසුව පැවති දීර්ඝ නඩු විභාග සහ විවිධ නීතිමය ක්‍රියාදාමයන් හේතුවෙන් මෙම දේපළෙහි අවසන් තීරණය සහ එය ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව වසර කිහිපයක් තිස්සේ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. මේ අතර, 2022 වසරේදී අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය තීන්දු කර ඇත.
