‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා මත ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට !

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ගම්පහ සුප්‍රසිද්ධ ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි යූ. වුට්ලර් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, ඔස්මන්ඩ් ගුණසේකර යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක කාලයක් රඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කර ඇති බවයි.

නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ගණේමුල්ල සංජීව 2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති තුළ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

ඒ අනුව, දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මතයි ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක්, පතරොම් ගැබ් (Magazines) 02 ක් හමු වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

Author

Related Posts