තායිලන්තයේ සිට මෙරටට “කුෂ්” සහ “හෑෂ්” වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන මැයි මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය අද (12) නියෝග කර තිබේ. එම චිවරධාරීන් පිරිස අද මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය අප්‍රේල් මස 25 වනදා තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි චීවරධාරීන් 22 දෙදෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයා ගැනුණි. ඔවුන්ගේ ගමන් මළුවල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් පොලිස් භාරයට ගන්නා ලදී.
අත්අඩංගුවට පත් පිරිසගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අමිතානන්ද නමැති චීවරධාරියෙකු විසින් මෙහෙයවා ඇති බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටි අමිතානන්ද නමැති සැකකරුද අත්අඩංගුවට ගනු ලැබීය.
මීට අමතරව, මෙම ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන මහ මුද් මොහොමඩ් නමැති පුද්ගලයෙකුද පසුගිය 08 වනදා කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 09 වනදා ඉදිරිපත් කර ඇති අතර, 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ප්‍රශ්න කරන ලෙසද මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
දින 14ක රක්ෂිත බන්ධනාගාර කාලය අවසන් වීමෙන් පසු, ප්‍රධාන සැකකාර අමිතානන්ද හිමියන් ඇතුළු චීවරධාරීන් 23 දෙනා අද පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සියලු දෙනා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
