පෝර්ට්සිටියේ සේවක අයිතිවාසිකම් කප්පාදුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

කොළඹ වරාය නගරය හෙවත් පොර්ට්සිටිය තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත්වීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට නොහැකි ලෙසට මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැයි 05 දින පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ඒ අනුව 2026 ජනවාරි 16 දින සහිත අංක 2471/52, අංක 2471/53, අංක 2471/54 හා අංක 2471/55 යන අති විශේෂ ගැසට් පත්‍රවලට අනුමැතිය ලැබී ඇත.

එම අතිවිශේෂ ගැසට් පත්‍ර 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබුණ අතර ඒ ඔහු විසින්ම ඊට පෙර ඒ සම්බන්ධයෙන් 2025 ජුලි 14 දින නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍ර හතරක් සංශෝධනයට ලක්කිරීම සඳහාය.

මුල් ගැසට් පත්‍ර මගින් කොළඹ පෝර්ට්සිටියේ ක්‍රියාත්මක වීමට නියමිත සමාගම් 4ක් සඳහා ලබාදෙන බදු හා අනෙකුත් සහන යටතේ 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ සියලු විධිවිධානවලින් කොළඹ වරාය නගරයේ එම සමාගම් නිදහස් කිරීම සිදුකර තිබුණි.

එම ගැසට් පත්‍ර සම්බන්ධයෙන් වෘත්තීය සමිති අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු ආණ්ඩුව වෘත්තීය සමිතිවලට පොරොන්දු වූයේ 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට ඇති බලතල කොළඹ පෝර්ට්සිටියේ සමාගම් සම්බන්ධයෙන් ඉවත් නොකරන බවයි.

එහෙත් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් සිදුකර තිබුනේ 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 2 වන, 11 වන හා 12 වන වගන්තිවලින් පෝර්ට්සිටියේ සමාගම් නිදහස් කිරීම මිස පොරොන්දු වූ පරිදි එම පනත යටතේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට ඇති බලතල ආරක්ෂා කරදීම නොවේ. 

එම පනතේ 2 වන වගන්තියෙන් කොළඹ පෝර්ට්සිටියේ සමාගම් නිදහස් කිරීම මගින් සිදුකර ඇත්තේ සේවකයකුගේ කැමැත්ත ලියවිල්ලකින් කලින් ලබානොගෙන හෝ කම්කරු කොමසාරිස්ගේ ලිඛිත අනුමැතිය කලින් ලබානොගෙන සේවකයකුගේ රැකියාව අවසන් කිරීමට නොහැකි බවට එම පනත යටතේ ඇති ප්‍රතිපාදනය පෝර්ටිසිටියේ සමාගම් සම්බන්ධයෙන් නිදහස් කිරීම හෙවත් එම සමාගම්වල අභිමතය පරිදි සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ බලය ලබාදීමයි.

නිදහස් කර ඇති 11 වන වගන්තියෙන් සිදුකර ඇත්තේ කම්කරු කොමසාරිස්වරයාගේ සාමාන්‍ය පරිපාලනය සහ ඒ යටතේ ඔහුට පැවරුණ හෝ නියම කෙරුණු යම් බලයක්, කාර්යයක් හෝ යුතුකමක් කම්කරු දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියකු වෙත පවරා දීමේ හැකියාව අහෝසි කිරීම හෙවත් කම්කරු නිලධාරීන්ට පෝර්ට්සිටියේ එම සමාගම්වල කටයුතු සොයා බැලීම සම්බන්ධයෙන් මැදිහත්වීමේ හැකියාව අහෝසි කිරීමයි.

නිදහස් කර ඇති 12 වන වගන්තියෙන් සිදුකර ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට සේවා ස්ථානවලට ඇතුළු වීමට, සෝදීසි කිරීමට, සේවක ලේඛන පරික්ෂා කිරීමට, එම ලේඛන ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට, ලේඛනවල පිටපත් ලබාගැනීමට, සේවකයින් ප්‍රශ්න කිරීමට, විභාග පැවැත්වීමට, සාක්ෂිකරුවන් කැඳවීම ඇතුළු දිස්ත්‍රික් උසාවියකට ඇති සියලු බලතල පෝර්ට්සිටියේ එම සමාගම් සම්බන්ධයෙන් අහෝසි කිරීමයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading