බටහිර බෙංගාලයේ දේශපාලන භූමිකම්පාවක් – මම්තා බැනර්ජි පාලනය අවසන්, මෝදිගේ BJPය බලය අල්ලයි…

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සමත්ව තිබේ. දශක ගණනාවක් තිස්සේ ප්‍රාදේශීය පක්ෂ සහ වාමාංශික බලකඳවුරු වලට නතු වී තිබූ බටහිර බෙංගාලය, මෙවර මැතිවරණයේදී හින්දු ජාතිකවාදී මතවාදය වැළඳගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි.

බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල සාරාංශයට අනුව, සමස්ත ආසන 294න් ආසන 293ක ප්‍රතිඵල නිකුත් වන විට භාරතීය ජනතා පක්ෂය (BJP) අතිවිශාල ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය සරල බහුතරය ආසන 148ක් වුවද, භාරතීය ජනතා පක්ෂය ආසන 206ක් දිනා ගනිමින් එම සීමාව පහසුවෙන් පසුකර ගොස් ඇත.

මීට පෙර ප්‍රාන්තය පාලනය කළ තෘණමූල් කොංග්‍රසයට (TMC) මෙවර හිමිකරගත හැකි වූයේ ආසන 81ක් පමණක් වන අතර, මෙම ප්‍රතිඵලය ඉන්දීය දේශපාලනයේ මෙන්ම බෙංගාලයේ දේශපාලන බල තුලනයේ ද තීරණාත්මක පෙරළියක් සනිටුහන් කරයි.

මෙය 2021 මැතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව සම්පූර්ණ උඩුයටිකුරු වීමකි. එවර ආසන 215ක් දිනාගත් මම්තා බැනර්ජිගේ පක්ෂය, මෙවර 81 දක්වා ඇද වැටී ඇති අතර, එදා ආසන 77ක් ලබා සිටි බී.ජේ.පී.ය මෙවර බලයට පත්වීමට අවශ්‍ය සීමාවද ඉක්මවා යමින් 200 සීමාව පසුකර තිබේ.

මම්තා බැනර්ජිගේ පරාජය සහ සුවෙන්දු අධිකාරීගේ නැගීම

මෙම මැතිවරණයේ වඩාත්ම කතාබහට ලක්වන සිදුවීම වන්නේ බටහිර බෙංගාලයේ “යකඩ ගැහැනිය” ලෙස හැඳින්වුණු මම්තා බැනර්ජි සිය අසුන පරාජයට පත්වීමයි. 2011 වසරේ සිට අඛණ්ඩව ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ ඇය, සිය බලකොටුවක් වූ භාබානිපූර් ආසනයෙන් ඡන්ද 15,000ක පමණ පරතරයකින් පරාජයට පත්විය.

ඇයව පරාජය කරමින් එම අසුන ජයග්‍රහණය කළේ භාරතීය ජනතා පක්ෂයේ සුවෙන්දු අධිකාරී විසිනි. වරෙක මම්තාගේ සමීපතම සගයකු වූ සුවෙන්දු අධිකාරී, පසුව පක්ෂයෙන් ඉවත් වී බී.ජේ.පී.ය සමඟ එක්විය. වත්මන් දේශපාලන ආරංචි මාර්ග අනුව, බටහිර බෙංගාලයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සුවෙන්දු අධිකාරී දිවුරුම් දීමට නියමිතව ඇත.

බටහිර බෙංගාලයේ මෙම ඓතිහාසික දේශපාලන වෙනස සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති බව පෙනී යයි. ප්‍රථමයෙන්ම, භාරතීය ජනතා පක්ෂය විසින් ගෙන ගිය දැඩි ජාතිකවාදී ප්‍රචාරණ ව්‍යාපෘතිය ප්‍රාන්තයේ හින්දු ජනතාව අතර ඉතා ඉහළින් ග්‍රහණය වීම මෙම ජයග්‍රහණයට ශක්තිමත් පදනමක් දැමීය.

එසේම, මම්තා බැනර්ජිගේ වසර 13ක අඛණ්ඩ පාලනය කෙරෙහි ජනතාව තුළ ගොඩනැගී තිබූ පාලන විරෝධී රැල්ල සහ විවිධ දූෂණ චෝදනා හේතුවෙන් ඇති වූ කලකිරීම ද මීට තීරණාත්මක ලෙස බලපෑ බව පැවසේ. මීට අමතරව, ප්‍රාන්තයේ බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් ඇති සුවෙන්දු අධිකාරී වැනි ප්‍රබල ජනප්‍රිය නායකයින් තෘණමූල් කොංග්‍රසය අතහැර භාරතීය ජනතා පක්ෂය සමඟ අත්වැල් බැඳගැනීම, එම පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඉවහල් වූ තවත් ප්‍රධාන සාධකයකි.

මෙම ජයග්‍රහණය භාරතීය ජනතා පක්ෂයට හුදු ප්‍රාන්ත ජයග්‍රහණයක් පමණක් නොව, එය ඉන්දියාවේ නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමේ මූලෝපායික ජයග්‍රහණයකි. මම්තා බැනර්ජි වැනි ප්‍රබල විපක්ෂ නායිකාවකගේ පරාජය, ඉදිරි ඉන්දීය මහ මැතිවරණයේ ගමන් මඟ කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.

ප්‍රාදේශීය පක්ෂ සහ වාමාංශික බලකඳවුරු අතිශය පසුගාමී ඉරණමකට

දශක ගණනාවක් තිස්සේ බටහිර බෙංගාලය පාලනය කළ ප්‍රාදේශීය පක්ෂ සහ වාමාංශික බලකඳවුරු මෙවර මැතිවරණයේදී අතිශය පසුගාමී ඉරණමකට මුහුණ දුන් අතර, වසර 34ක් පුරා ප්‍රාන්තය පාලනය කළ වාමාංශික පෙරමුණට මෙන්ම පසුගිය වසර 13ක පාලනය මෙහෙයවූ තෘණමූල් කොංග්‍රසයට ද භාරතීය ජනතා පක්ෂයේ දැවැන්ත ජාතිකවාදී රැල්ල හමුවේ තම සාම්ප්‍රදායික බලකඳවුරු ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.

මීට පෙර වාමාංශික පක්ෂ වටා රොක් වී සිටි ග්‍රාමීය සහ කම්කරු ජනතාවගේ ඡන්ද පදනම විශාල වශයෙන් බී.ජේ.පී.ය දෙසට ආකර්ෂණය වීම නිසා එම පක්ෂ දේශපාලනිකව අතිශය දුර්වල වූ අතර, කලක් ප්‍රබලව පැවති වාමාංශික සහ කොංග්‍රස් සන්ධාන පසෙකට තල්ලු වී බෙංගාල දේශපාලනය බී.ජේ.පී. සහ තෘණමූල් අතර සෘජු ද්වි-පාර්ශවික සටනක් බවට පත් විය. මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වූයේ ප්‍රාදේශීය පක්ෂවල සිටි ප්‍රබල සංවිධායකයින් සහ නායකයින් රැසක් බී.ජේ.පී.ය සමඟ එක්වීම හේතුවෙන් එම පක්ෂවල බිම් මට්ටමේ ජාලය මුළුමනින්ම පාහේ බිඳ වැටීම නිසාවෙනි.

“දීදී” හෙවත් මම්තා බැනර්ජි

දීදී” යන ආදරණීය නාමයෙන් හැඳින්වෙන මම්තා බැනර්ජි, 1970 දශකයේ ශිෂ්‍ය දේශපාලනය හරහා කොංග්‍රස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර 1984 දී ප්‍රබල කොමියුනිස්ට් නායක සෝම්නාත් චැටර්ජි පරාජය කරමින් ලොක් සභාවට තේරී පත්වෙමින් ජාත්‍යන්තර අවධානය දිනාගත්තාය.

පසුව ඇති වූ මතභේද හේතුවෙන් 1998 දී අඛිල භාරත තෘණමූල් කොංග්‍රසය (TMC) පිහිටුවාගත් ඇය, බටහිර බෙංගාලයේ පැවති වසර 34ක වාමාංශික පාලනයට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගූ අතර 2011 වසරේදී සිංගූර් සහ නන්ද්‍රිගම් ගොවි අරගල හරහා ලබාගත් ජනතා පදනම මගින් ප්‍රාන්තයේ ප්‍රථම කාන්තා ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළාය.

සුදු පැහැති සාරිය සහ හවායි සෙරෙප්පු පැළඳි සරල ජීවන රටාවකට හිමිකම් කියන ඇය, ඉන්දීය මධ්‍යම රජයේ තීරණවලට මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ව්‍යාප්තියට එරෙහිව ද දැඩි සටනක නිරත වූ අතර, 2021 වසරේදී බී.ජේ.පී.යේ ප්‍රබල අභියෝගය හමුවේ වුවද තනිවම සටන් වැදී තෙවන වරටත් ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වෙමින් ඇගේ සටන්කාමී දේශපාලන පෞරුෂය මැනවින් විදහා පෑවාය.

මම්තා බැනර්ජිගේ වසර 13ක පාලනය බිඳ වැටීම

මම්තා බැනර්ජිගේ වසර 13ක පාලනය බිඳ වැටීමට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ ඇගේ රජයට එරෙහිව ගොඩනැගුණු ප්‍රබල පාලන විරෝධී රැල්ල සහ බරපතල දූෂණ චෝදනා මාලාවයි. විශේෂයෙන්ම පාසල් සේවා කොමිෂන් සභාවේ (SSC) ගුරු පත්වීම් මුදලට සහ දේශපාලන හිතවත්කම් මත ලබාදීමේ මහා පරිමාණ වංචාව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රබල අමාත්‍යවරයෙකු වූ පාර්තා චැටර්ජි අත්අඩංගුවට පත්වීම රජයේ ප්‍රතිරූපය දැඩි ලෙස පළුදු කළේය.

මීට අමතරව අත්‍යවශ්‍ය සලාක ද්‍රව්‍ය බෙදාහැරීමේදී සිදු වූ මූල්‍ය වංචා, මහා පරිමාණ ගව ජාවාරම් සහ රජයේ ප්‍රතිලාභ ලබාදීමේදී ජනතාවගෙන් මුදල් ලබාගැනීමේ “කට් මනි” (Cut-money) ක්‍රමය හේතුවෙන් පොදු ජනතාව තුළ දැඩි කලකිරීමක් ඇති විය.

මැතිවරණයට පෙර කරළියට පැමිණි සංදේශ්ඛාලි ප්‍රදේශයේ කාන්තාවන්ට සිදු වූ හිරිහැර සහ ඉඩම් කොල්ලකෑම් පිළිබඳ චෝදනා මම්තා කෙරෙහි තිබූ කාන්තා සහයෝගය පළුදු කළ අතර, පාලන සමය පුරා වාර්තා වූ දේශපාලන ප්‍රචණ්ඩත්වය මෙන්ම ප්‍රමාණවත් කර්මාන්ත සහ රැකියා අවස්ථා නිර්මාණය නොවීම ද තරුණ පරම්පරාව ඇගෙන් ඈත් කරවීමට තීරණාත්මක ලෙස බලපෑවේය.

Author

Related Posts