ජනපතිගේ මැයි දින ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් පැමිණිල්ලක්

මෙවර මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස Free Lawyers සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

අදාළ සංවිධානය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබාදීමට නියමිත තීන්දුවක් සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එළඹෙමින් අගතිගාමී ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, දූෂිතයන්ට සහ වංචාකරුවන්ට එරෙහිව නඩු දහයක් පමණ මේ වන විට විභාග වෙමින් පවතින බවත්, ඉන් එක් නඩුවක තීන්දුවක් මැයි මාසය තුළ ලබාදීමට නියමිත බවත්ය. 2026 වසර දූෂිතයන් සිරගත කරන වසර ලෙස ඉතිහාසගත වන බවටද ඔහු එහිදී සහතික විය.

කෙසේ වෙතත්, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරන්නේ මෙම ප්‍රකාශය හුදෙක් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ සාමාන්‍ය විග්‍රහයක් නොවන බවයි.

මෙවර ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි දින සැමරුම ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් නුවරඑළියේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

මැයි මාසෙම දහ දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ එක නඩු තීන්දුවක් ලබා දෙන්න තීන්දු කළා. ඒ නඩු තීන්දුව මැයි මාසේ එනවා. මොකද්ද සිදු වෙමින් තිබෙන්නේ? වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයින් හිරේට යමින් තිබෙනවා. නඩු අහමින් තිබෙනවා.

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හුදෙක් අධිකරණ පද්ධතිය පිළිබඳව සිදු කරන ලද සාමාන්‍ය විග්‍රහයකින් ඔබ්බට ගිය, දින වකවානු පවා නිශ්චිතව දක්වමින් සිදු කරන ලද්දක් බවයි. අධිකරණය විසින් ලබාදීමට නියමිත තීන්දුව කුමක්දැයි කලින්ම තීරණය කර ඇති ස්වභාවයක් මෙමගින් මතු වන බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතු කෙරෙහි සෘජු බලපෑමක් එල්ල වන බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

අධිකරණය හමුවේ පවතින නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම තුළින් අධිකරණ විනිසුරුවරුන්ට අනියම් පීඩනයක් එල්ල විය හැකි බවට නීති ක්ෂේත්‍රයේ කතාබහක් නිර්මාණය වී ඇත.

මෙම සිදුවීම හේතුවෙන් රට තුළ විශාල දේශපාලන හා නීතිමය ආන්දෝලනයක් හටගෙන ඇති අතර, ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය ඉල්ලීම මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Free Lawyers සංවිධානය විසින් අගවිනිසුරු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading