IPL ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ල අද (23) කොළඹ දිසා අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබ තිබෙනවා.
2026 වර්ෂය සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවා.
ඒ අනුව, පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරූල්ප්‍රගාසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවාදායකයා අපේක්ෂා නොකරන බවත්, එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ය.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය විසින් අවසර ලබා දෙනු ලැබුවා.
