ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ප්‍රහාරයට ලක් වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක් වූ සහයෝගී ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් හා දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය සෙයියද් අබ්බාස් අරාග්චි හා මෙරට විදේශ ඇමති විජිත හේරත් අතර, දුරකථන සංවාදයක් පසුගිය බදාදා (22) සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ඉරාන තානාපති කාර්යාලය පවසන්නේ, නාවිකයන් බේරා ගැනීමට සහ එම සිදුවීමෙන් මියගිය ඉරාන නාවික හමුදා නිලධාරීන්ගේ දේහයන් ඉරානයට ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙරට රජය ලබාදුන් අද්විතීය සහය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ස්තුති කළ බවයි.
එහි දී IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිදු කරන ලද එම ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද “පෙර නොඇසූ හා නොදුටු විරූ යුද අපරාධයක්” වන බවයි.
කෙසේ නමුත්, මෙහි දී වැඩිදුරටත් ඉරානය කිසිදා මෙම ප්‍රහාරය අමතක නොකරන බව අවධාරණය කරමින් මෙකී අපරාධයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා ඉරානය සියලු නීතිමය සහ දේශපාලන ක්‍රම හා මාර්ග ඔස්සේ කටයුතු කරන බව ඉරාන විදේශ අමාත්‍ය සෙයියද් අබ්බාස් අරාග්චි සඳහන් කර ඇති බවයි ඉරාන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
මෙම දුරකතන සංවාදයේ දී අවසාන වශයෙන් කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග හමුවේ දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කරමින්, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
