අද කරනවායැයි කී ප්‍රහාර කල්දමයි! ට්‍රම්ප් සටන් විරාමය දික් කරයි! යුද්ධය අද පටන්ගන්නෑලු! ඒත් ෂුවර් නෑ..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කරන බව ප්‍රකාශ කර ඇති අතර, යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ටෙහෙරානයට වැඩි කාලයක් ලබා දීම පිණිස ඇමරිකානු හමුදාව සිය සැලසුම් සහගත ප්‍රහාරය තාවකාලිකව නතර කරන බව පවසා ඇත.

පකිස්ථානු මැදිහත්කරුවන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගත් බව ට්‍රම්ප් පවසයි. මෙම සටන් විරාමය බදාදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

“එබැවින් මම අපගේ හමුදාවට නාවික අවහිරය (Blockade) දිගටම පවත්වාගෙන යන ලෙසත්, අනෙකුත් සෑම අංශයකින්ම සූදානමින් සිටින ලෙසත් උපදෙස් දී ඇත. ඔවුන්ගේ යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡා අවසන් වන තෙක් මම සටන් විරාමය දීර්ඝ කරමි,” යැයි ඇමරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

නිශ්චිත කාලසීමාවක් සඳහන් කර නොමැති බැවින්, ට්‍රම්ප්ගේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ අවම වශයෙන් ඇමරිකානු පාර්ශවයෙන් මෙම සටන් විරාමය දීර්ඝ කිරීම අවසන් කාලසීමාවක් නොමැති (open-ended) එකක් බවයි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානය වහාම ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ටෙහෙරානයේ ස්ථාවරය “පසුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන” බව අර්ධ රාජ්‍ය තාස්නිම් පුවත් ඒජන්සිය (Tasnim news agency) පැවසීය.

මෙම දීර්ඝ කිරීම ට්‍රම්ප්ගේ ධවල මන්දිරයෙන් වාර්තා වූ නවතම හදිසි තීරණ වෙනස් කිරීමකි. ඔහු සටන් විරාමය දිර්ඝ කරන උක්ත සමාජ මාධ්‍ය සටහන පළ කරන්නට පැය කිහිපයකට පෙර, ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ සටන් විරාමය දීර්ඝ කිරීමට තමන් විරුද්ධ බවය.

ඇමරිකාව ඉරානයේ යටිතල පහසුකම්වලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව හගවමින් ටෙහෙරාන්වලට දුන් කාලය ඉක්මවා යමින් පවතින බවටත් ඔහු මීට පෙර අඟවා තිබුණි.

මෙම හදිසි තීරණ වෙනස් කිරීම සිදු වූයේ, ඉරාන නිලධාරීන් එරට වරායන් මත පනවා ඇති ඇමරිකානු නාවික අවහිරය හෙළා දකිමින්, බදාදාට නියමිත සාකච්ඡාවලට සහභාගී වීම පිළිබඳව සැක මතු කර තිබූ පසුබිමකය.

කෙසේ නමුත් ට්‍රම්ප් නැවත කාලය දිර්ඝ කිරීම ගැන, පකිස්ථානු අගමැති ෂෙබාස් ට්‍රම්ප්ට කෘතඥතාව පළ කළ අතර, ගැටුමට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීමට ඉස්ලාමාබාද් නුවර දිගටම උත්සාහ කරන බව පැවසීය.

“දෙපාර්ශවයම සටන් විරාමයට දිගටම ගරු කරනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වන අතර, ගැටුමට ස්ථිර අවසානයක් ගෙන ඒම සඳහා ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ඡාවලදී පුළුල් ‘සාම ගිවිසුමකට’ එළඹීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි,” යනුවෙන් ෂරීෆ් X හි සටහනක් තබමින් පැවසීය.

නාවික වශයෙන් ඇමෙරිකානු වටලෑම් දිගටම පවතින බැවින්, සටන් විරාමය දීර්ඝ කිරීම පමණක් ඉරානය ඉස්ලාමාබාද්හි පැවැත්වෙන සාකච්ඡා මේසයට කැමති කරවාගැනිමට ප්‍රමාණවත් වේද යන්න අපැහැදිලි ය.

අඟහරුවාදා පෙරවරුවේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ ඉරාන වරායන් අවහිර කිරීම “යුද ප්‍රකාශ කිරීමක්” සහ පවතින සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවයි. “සීමාවන් නිෂ්ප්‍රභ කරන්නේ කෙසේද, තම අවශ්‍යතා ආරක්ෂා කර ගන්නේ කෙසේද සහ හිරිහැර කිරීම්වලට ප්‍රතිරෝධය දක්වන්නේ කෙසේද යන්න ඉරානය දන්නවා,” යැයි අරග්චි ලිවීය.

ප්‍රසිද්ධියේ ඇමරිකානු තර්ජන සහ නාවික වටලෑම ප්‍රතික්ෂේප කිරීම ඉරානයේ ස්ථාවරය වුවද, ටෙහෙරානයේ නායකත්වය තුළ පවතින මතභේද රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ප්‍රමාද කරන බව ට්‍රම්ප් ඉඟි කළේය.

“ඉරාන රජය දැඩි ලෙස බෙදී පවතින බැවින් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් සහ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ඉල්ලීම මත, ඔවුන්ගේ නායකයින්ට සහ නියෝජිතයින්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන තෙක් ඉරානයට එල්ල කරන ප්‍රහාරය නතර කරන ලෙස අපෙන් ඉල්ලා තිබේ,” යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා අඟහරුවාදා පණිවිඩයේ සඳහන් කළේය.

පෙබරවාරි 28 වන දින ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රථම වරට ඉරානයට ප්‍රහාර එල්ල කළ දා සිට, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් ඇත.

කෙසේ වෙතත්, ඉරානයේ පාලන පද්ධතිය තුළ මෙතෙක් ප්‍රධාන පෙළේ පක්ෂ විපර්යාසයන් හෝ බිඳවැටීම් සිදු වී නොමැති අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) යුද්ධයට නායකත්වය දෙයි.

කමේනි වෙනුවට ඔහුගේ පුත් මොජ්තාබා පත් කර ඇති අතර, ඔහු පසුගිය මාසයේ උත්තරීතර නායකයා ලෙස තේරී පත් වූ දා සිට මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

ටෙහෙරානයේ සිට වාර්තා කරන අල් ජසීරා වාර්තාකරු අලි හෂීම් පැහැදිලි කළේ, ඉරාන නායකත්වයේ බෙදීම් ඇති බවට ට්‍රම්ප් කරන ප්‍රකාශය බොහෝ විට “වැරදි වැටහීමක්” විය හැකි බවයි.

“හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ඉරානයට ඉතා ඒකාබද්ධ නායකත්වයක් තිබේ,” හෂීම් පැවසීය. “මන්ද? නව නායක මොජ්තාබා කමේනි සහ ඔහු වටා සිටින පිරිස පසුගිය වසර 15 පුරා එකට වැඩ කරන කණ්ඩායමකි. මෙම කණ්ඩායමේ සාමාජිකයින් දැනට ටෙහෙරානයේ තීරණ ගන්නා මධ්‍යස්ථානවල සිටිති.”

ඉරානය සහ ඇමරිකාව අප්‍රේල් 8 වැනිදා සති දෙකක මූලික සටන් විරාමයකට එකඟ වූ නමුත්, ලෙබනනය සටන් විරාමයට ඇතුළත් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳ මතභේද හේතුවෙන් එම ගිවිසුමට බාධා එල්ල වී ඇති අතර එය දිගින් දිගටම පවතින ආතතියට හේතු වී තිබේ.

යුද්ධය අවසන් කිරීම සඳහා, ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම වසා දැමීමට මෙන්ම එහි මිසයිල නිෂ්පාදනය සහ හිස්බුල්ලා සහ හමාස් ඇතුළු කලාපීය සංවිධානවලට ඉරානයෙන් ලබා දෙන සහාය සීමා කිරීමට අපේක්ෂා කරයි.

නමුත් ඉරානය අවධාරණය කර ඇත්තේ සිවිල් න්‍යෂ්ටික වැඩසටහනක කොටසක් ලෙස දේශීයව යුරේනියම් පර්යේෂණ කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි. තම මිලිටරි හැකියාවන් සහ කලාපීය සන්ධාන සහන ලබා දීම සඳහා භාවිතා කිරීම ද ඔවුන් ප්‍රතික්ෂේප කළහ.

තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉරානය සතුව පවතින ඉහළ සාන්ද්‍රණයකින් යුත් යුරේනියම් තොගයයි. බෝම්බ හෙලූ ස්ථානවලින් න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉවත් කිරීමට ටෙහෙරානය එකඟ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. නමුත් ඉරානය පවසා ඇත්තේ යුරේනියම් රටින් පිට කිරීමට ඉඩ නොදෙන බවයි.

ස්ටිම්සන් මධ්‍යස්ථානයේ (Stimson Center) ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන බාබරා ස්ලැවින් පැවසුවේ, ට්‍රම්ප් සටන් විරාමය දීර්ඝ කිරීමේ ප්‍රකාශය අසාර්ථක වෙමින් පවතින සාකච්ඡා නිසා ඇති වූ “ලැජ්ජාව වසා ගැනීමට” ගත් උත්සාහයක් බවයි.

ඉරානය සමඟ පකිස්ථානයේදී සාකච්ඡා කිරීමට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් (JD Vance) යැවීමට ට්‍රම්ප් සූදානම්ව සිටියද, ටෙහෙරානය එම සාකච්ඡාවලට පැමිණීමට සූදානම් නැති බව පෙනී ගිය බව ඇය පෙන්වා දුන්නාය.

“මෙම යුද්ධය ඔහු මුල සිටම බලාපොරොත්තු වූ ආකාරයට සිදු වූයේ නැත. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය හරහා ඉරානය නව බලපෑම් සහගත මෙවලමක් සොයාගෙන තිබේ,” ස්ලැවින් අල් ජසීරා වෙත පැවසුවාය.

ඇමරිකාව සිය “උපරිමවාදී ඉල්ලීම්” (maximalist demands) අතහැර දැමිය යුතු අතර, විසඳුමක් සෙවීමට තමන් බැරෑරුම් ලෙස උත්සාහ කරන බව ඉරානයට යම් ක්‍රියාවකින් ඒත්තු ගැන්විය යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

(අල් ජසීරා වාර්තාවක පරිවර්තනයකි.)

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading