ඥාණසාරට ජාත්‍යන්තර විමර්ශන හොද වෙයි! ඒත් යුධ අපරාධවලට නෙවෙයි

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන “රංගනයන්” නතර කර, ඒ වෙනුවට විමර්ශන කටයුතු ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට භාර දෙන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු වගකිවයුතු සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන සිංහල ජාතිකවාදී කදවුර මෙරට සිදු වූ බව කියන යුධ අපරාධ චෝදනා පිළිබද ජාත්‍යන්තර විමර්ශන ප්‍රතික්ෂේප කරන්නේය.

මාධ්‍ය අමතමින් ඥාණසාර හිමි කියා සිටියේ සහරාන් හෂීම්ට සම්බන්ධ ඉගැන්වීම්වලට සමාන අන්තවාදය ප්‍රවර්ධනය කරන ඉගැන්වීම්, පාසල් පෙළපොත්වල සිට පුහුණු කඳවුරු දක්වා තවමත් රට තුළ ප්‍රචාරය වෙමින් පවතින බවයි.

බොදු බල සේනා සංවිධානය මෙරට අන්තවාදී අදහස් පෝෂණය කිරීමට දායක වූ බැවින් එවැනි සංවිධාන තහනම් කරන ලෙස මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබද පත් කරන ලද කොමිෂන්වලින් කියා ඇතත්, ඒ ගැන ඔහු කිසිවක් කීවේ නැත.

සහාරන් වැනි චරිත නිර්මාණය කිරීමට වගකිවයුතු පුද්ගලයන් වත්මන් පරිපාලනය තුළ තවමත් රැඳී සිටින බවට තවදුරටත් ප්‍රකාශ කළ උන්වහන්සේ, තමන් සිරගත කළද සත්‍යය මහජනයාට හෙළිවන බව අවධාරණය කළහ. සහරාන්ලා නිර්මාණය කිරීමට තමාගේ දායකත්වය ගැන ඔහු මුනිවත රැක්කේය.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී දැන් වසර හතක් ගත වී ඇතත්, විමර්ශන රැසක් සිදු කර තිබියදීත්, කිසිදු වගකිවයුතු පාර්ශවයක් හෝ පුද්ගලයෙකු නිශ්චිතව හඳුනාගෙන නැහැ. එබැවින් විමර්ශන වෙනත් දිශාවලට යොමු කරනවා වෙනුවට ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට භාර දීම වඩාත් සුදුසුයි,” යැයි උන්වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත් මෙරට දෙමළ සමාජජය ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂනයක් හරහා යුද්ධයේදී සිදු වූ අපරාධ ගැන සොයන ලෙස ඉල්ලද්දී ඒවා දේශද්‍රෝහී කුමන්ත්‍රණ ලෙස ලේබල් කරනු ලැබීය.

පසුගිය රජයන්හි සේවය කළ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවටද ඥානසාර හිමියෝ චෝදනා කළහ. මෙම සිදුවීමට පෙර ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට බොදු බල සේනා සංවිධානය කටයුතු කළ බවත්, එමෙන්ම සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් ද ප්‍රහාරය පිටුපස සිටින බවට විශ්වාස කරන පුද්ගලයන් පිළිබඳව පැමිණිලි කර තිබූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මේ සියල්ල සිදුවන්නේ පාස්කු ප්‍රහාරය පසුපස සිටින බුද්ධි අංශ සහ මිලිටරි කණ්ඩායම් ගැන විමර්ශනවලින් කරුණු හෙළිවන පසුබිමකය. මීට පෙර ජාත්‍යන්තර විමර්ශන එපායැයි කීවේ එවැනි කරුණු හෙළි වේයැයි බියෙනි. දැන් ජාත්‍යන්තර විමර්ශන ඉල්ලන්නේත් ඒ බියෙන්මය.

Author

Related Posts