ඉරාන සබඳතා ඇති ‘Tifani’ තෙල් නැව ලංකාවට ආසන්න මුහුදේදී අමෙරිකානු අත්අඩංගුවට…

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරමින් තිබූ, ඉරානය සමඟ සබඳතා පවත්වන බවට සැක කෙරෙන දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාවක් (VLCC) අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැරීන් ට්‍රැෆික් (Marine Traffic) දත්ත සහ ආරක්ෂක අංශ වාර්තා කරන පරිදි, මෙම මෙහෙයුම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා වෙරළ තීරයේ සිට කිලෝමීටර් 700ක් පමණ දුරින් වූ මුහුදු කලාපයේදීය. අදාළ නෞකාව ඉරානයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බව හඳුනාගෙන ඇත.

ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවකින් යුතු මෙම නෞකාවට, අමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් මීට පෙර සම්බාධක පනවා තිබුණි. එය ඉරාන බොරතෙල් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සම්බන්ධ Shadow Fleet අයත් බවට අමෙරිකානු බලධාරීන් සැක පළ කරයි.

වාර්තාවලට අනුව, මෙම නෞකාව ඉන්දියානු නැව් සමාගමකට සෘජු සබඳතා දක්වන බවට හඳුනාගෙන ඇති අතර, එහි ගමන් මඟ පිරික්සීමේදී පෙනී යන්නේ එය පසුගිය අප්‍රේල් 10 වන දින පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටත්ව ඇති බවයි. ඉන් අනතුරුව අප්‍රේල් 18 වන දින ශ්‍රී ලංකාවේ ගාලු වරායට ආසන්න මුහුදු සීමාවට පැමිණ කෙටි කාලයක් එහි නතර කර තිබූ අතර, අවසානයේ අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු නාවික හමුදා භාරයට පත්ව ඇත.

පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නිවේදනය

මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඉරාන බොරතෙල් ආසියානු මුහුදු කලාපය හරහා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර අසාදු ලේඛනගත කර තිබූ තෙල් නැවක් ඇමරිකානු හමුදා විසින් පරීක්ෂාවට ලක් කර තම භාරයට ගත් බවයි.

සමාජ මාධ්‍ය යාවත්කාලීන කිරීමක් නිකුත් කරමින් පෙන්ටගනය තහවුරු කළේ, තම නිලධාරීන් විසින් M/T Tifani නෞකාව මත “නාවික නීතියට අනුව පරීක්ෂා කිරීමේ අයිතිය (right-of-visit maritime interdiction)” භාවිතා කරමින් මෙහෙයුමක් දියත් කළ බවයි. මෙම මෙහෙයුම කිසිදු ගැටුමකින් තොරව සාමකාමීව සිදු වූ බව ඔවුන් සඳහන් කළේය. ටෙහෙරානයට සම්බන්ධ හෝ තෙල්, ආයුධ, කාර්මික ලෝහ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි සීමා පැනවූ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ඕනෑම නෞකාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකාව දියත් කර ඇති මෙහෙයුම් මාලාවේ නවතම පියවර මෙයයි. ඇමරිකාව සහ ඉරානය අතර පවතින බිඳෙනසුලු සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි. මේ අතර, දෙපාර්ශවය අතර සාකච්ඡා සඳහා මැදිහත් වීමට පකිස්ථානය උත්සාහ කරමින් සිටී.

“ඊයේ රාත්‍රියේ, ඉන්දු-පැසිෆික් විධානයට (INDOPACOM) අයත් කලාපය තුළදී ඇමරිකානු හමුදා විසින් කිසිදු රටකට අයත් නොවන (stateless) සහ සම්බාධක පනවා ඇති M/T Tifani නෞකාව පරීක්ෂාවට ලක් කරන ලදී,” යනුවෙන් පෙන්ටගනයේ ‘X’ පණිවිඩයේ සඳහන් විය.

පෙන්ටගනය නිකුත් කළ වාර්තාවකට අනුව, අදාළ නෞකාව කිසිදු රටක නිල ලියාපදිංචියක් නොමැති “රාජ්‍යයක් නොමැති” (stateless) නෞකාවක් ලෙස නම් කර ඇත. නෞකා ගමන් මග නිරීක්ෂණ දත්ත වලට අනුව, ‘Tifani’ නමින් හඳුනාගෙන ඇති මෙම නෞකාව අඟහරුවාදා වන විට ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පිහිටි මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබී ඇත. වර්තමානය වන විට මෙම නෞකාව බොට්ස්වානා රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළද, එහි නීත්‍යානුකූල භාවය පිළිබඳ ගැටලු පවතින බැවින් පෙන්ටගනය මෙලෙස පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම සිදු වූ නිශ්චිත වේලාව හෝ ස්ථානය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

පෙන්ටගනය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ඉරානයට ද්‍රව්‍යමය සහය ලබා දෙන නීතිවිරෝධී ජාලයන් අඩාල කිරීම සඳහාත්, සම්බාධක පනවා ඇති නෞකා ලොව ඕනෑම ස්ථානයකදී අත්අඩංගුවට ගැනීම සඳහාත් වන ගෝලීය නාවික බලාත්මක කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. ජාත්‍යන්තර මුහුදු සීමාව යනු සම්බාධක පැනවූ නෞකා සඳහා ආරක්ෂිත රැකවරණයක් නොවන බවත්, ජාත්‍යන්තර නීතිය සහ සම්බාධක උල්ලංඝනය කරන මෙවැනි නෞකා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් ඔවුන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් පැහැදිලි කර ඇත්තේ, ඇමරිකානු නාවික අවහිර කිරීම් දැන් ඉරාන දේශ සීමාවෙන් සහ මධ්‍යම විධානයට (CENTCOM) අයත් කලාපයෙන් ඔබ්බට විහිදෙන බවයි. ඉරාන ධජය සහිත හෝ ඉරානයට සහය දක්වන ඕනෑම නෞකාවක් ලුහුබැඳ යාමට අනෙකුත් කලාපීය ඇමරිකානු හමුදාවන්ට නියෝග කර ඇති බව ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම, ලෝකයේ වැදගත්ම බලශක්ති කොරිඩෝවක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා අවහිර කිරීම් පැනවීමට පෙර ඉන් පිටව ගිය නෞකා ඉලක්ක කර ගනිමින් පැසිෆික් සාගරය දක්වා මෙහෙයුම් පුළුල් කරන බව ඔහු අවධාරණය කර තිබේ.

මීට අමතරව, අමෙරිකානු හමුදාව විසින් තහනම් කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ සතුරෙකු වෙත රැගෙන යන සහ සන්නද්ධ ගැටුමකදී භාවිත කළ හැකි ඕනෑම භාණ්ඩයක් උදාසීන දේශසීමාවලින් ඔබ්බට ඕනෑම ස්ථානයකදී අත්අඩංගුවට ගැනීමට යටත් වන බවයි. පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක් මගින් ඔවුන් මේ බව අවධාරණය කර ඇති අතර, ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ මෙවැනි නීතිවිරෝධී ප්‍රවාහනයන් වැළැක්වීමට ඇති දැඩි කැපවීම එමඟින් තවදුරටත් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය අඩාල වෙයි

නෞකා දත්ත වාර්තා කරන පරිදි, ඉරානය සහ අමෙරිකාව අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය අඟහරුවාදා වන විට බොහෝ දුරට අඩපණ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය පැය 24 ක කාලය තුළ එම වැදගත් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ නෞකා තුනක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් පමණි. අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ටෙහෙරානය සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් හසුරුවනු ලබන මෙම මර්මස්ථානය මත ඉරානය ද සිය සීමා පැනවීම් දැඩි කර ඇති බව පැවසේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading