ඇමරිකා එක්සත් ජනපදයේ තර්ජන හමුවේ වොෂින්ටනය සමඟ කිසිදු සාකච්ඡාවකට ටෙහෙරානය එකඟ නොවන බව ඉරාන ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කථානායක මොහොමඩ් බගර් කලිබාෆ් (Mohammad Baqer Qalibaf) ප්‍රකාශ කර තිබේ.
අඟහරුවාදා අලුයම සිය X ගිණුමේ සටහනක් තබමින් කලිබාෆ්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “මුලාවක” සිට ක්‍රියා කරන බවට දැඩි ලෙස චෝදනා කළේය. සති දෙකකට පෙර එළඹුණු සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් එක්සත් ජනපදය සිදු කරන නාවික අවහිර කිරීම් සහ ඉරිදා ඕමාන් මුහුදේදී ඉරාන වෙළඳ නෞකාවකට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කළේය.
“ට්‍රම්ප්, නාවික අවහිර කිරීම් පනවමින් සහ සටන් විරාමය උල්ලංඝනය කරමින් – තමාගේම රැවටීමක ඉදන් – සාකච්ඡා මේසය යටත් කරවාගැනීමේ මේසයක් බවට පත් කිරීමට හෝ නැවතත් යුද්ධයක් ඇවිලවීමට උත්සාහ කරනවා” යනුවෙන් ඉරාන පාර්ශ්වයෙන් සාකච්ඡාවලට සහභාගී වූ කණ්ඩායමේ නායකයා ද වන කලිබාෆ් පැවසීය.
එවැනි බලපෑම් කර බිය ගැන්වීමෙන් සාකච්ඡා මේසයේදී කිසිදු ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බව අවධාරණය කළ ඔහු, “අපි තර්ජන හමුවේ සාකච්ඡා පිළිගන්නේ නැහැ. ගෙවුණු සති දෙක තුළ අපි යුධ පිටියේදී අලුත් තුරුම්පු එළිදැක්වීමට සූදානම් වී ඉන්නවා” යැයි වැඩිදුරටත් පැවසීය.
ඕමාන් මුහුදේදී ඉරාන වෙළඳ නෞකාවකට එක්සත් ජනපද නාවික හමුදාව එල්ල කළ ප්‍රහාරයත් සමඟ දෙරට අතර පැවැත්වීමට නියමිත මීළඟ සාකච්ඡා වටය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. ඉරාන හමුදාව මෙම සිදුවීම සාගර නීති උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දුන් අතර, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට තමන් සූදානම් බව අවධාරණය කළේය.
සඳුදා දින අදහස් දැක්වූ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද (Masoud Pezeshkian) ද වොෂින්ටනයේ තර්ජන ප්‍රතික්ෂේප කළේය. ඇමරිකානු නියෝජිත කණ්ඩායම මීළඟ සාකච්ඡා වටය සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිතව තිබියදී ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි තර්ජනයක් එල්ල කර තිබුණු නිසා දැන් මේ ආකාරයට සාකච්ඡා අනතුරක වැටී තිබේ.
ට්‍රම්ප් පවසා තිබුණේ, “අපි ඉතා සාධාරණ ගනුදෙනුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් එය පිළිගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එසේ නොවුවහොත්, එක්සත් ජනපදය ඉරානයේ සෑම විදුලි බලාගාරයක්ම සහ සෑම පාලමක්ම විනාශ කරනවා,” යනුවෙනි.
පකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් ද ට්‍රම්ප් වෙත දන්වා ඇත්තේ එක්සත් ජනපදය දිගින් දිගටම පනවා ඇති නාවික අවහිරතා හේතුවෙන් දෙරට අතර සාමයක් ඇති කිරීමට පකිස්ථානය දරන උත්සාහයට බාධා එල්ල වී ඇති බවයි.
මෙම අර්බුදය ආරම්භ වූයේ පෙබරවාරි 28 වන දින ඉරානයේ ආත්මීය නායක අයතුල්ලා සෙයියද් අලි කමේනි, ඉහළ පෙළේ හමුදා අණදෙන නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඝාතන ප්‍රහාර මාලාවත් සමඟිනි. දින 40ක ගැටුම්වලින් පසු ඉරානයේ කරුණු දහයකින් යුත් යෝජනාවකට ඇමරිකාව එකඟ වූ අතර ඒ අනුව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වාණිජ නෞකා සඳහා විවෘත කිරීමට එකඟ වූ නමුත්, ඇමරිකාව නාවික අවහිර කිරීම් දිගටම පවත්වාගෙන යාම හේතුවෙන් ඉරිදා දිනයේදී නැවතත් එම මුහුදු මාර්ගය වසා දැමීමට ඉරානයට සිදුවිය.
මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ගුවන් අභ්‍යවකාශ අංශයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් සෙයියද් මජිඩ් මූසාවි අවධාරණය කළේ, තමන් ඇමරිකාව සමඟ කෙරෙන සාකච්ඡා විශ්වාස නොකරන බවත්, තමන් විශ්වාස කරන්නේ ජාතික ශක්තිය පමණක් බවත්ය.
“අපගේ නායකයා පැවසූ පරිදි, අපි ඔබ සමඟ සාකච්ඡා කිරීම විශ්වාස නොකරමු. අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ, ජනතාවගේ සහ සටන්කාමීන්ගේ ශක්තියයි,” යැයි ඔහු පැවසීය. ඉරානය දුර්වලත්වයේ සහ යටත් වීමේ යුගය පසු කර ඇති බවත්, ඕනෑම තර්ජනයකට එරෙහිව තීරණාත්මක ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ඔහු අනතුරු ඇඟවීය.
දැනට පවතින තත්ත්වය අනුව, වොෂින්ටනය සිය දැඩි ස්ථාවරය සහ තර්ජන වෙනස් නොකරන්නේ නම් දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමේ සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
