කිසිකෙනෙක් බියට පත් විය යුතු නැහැ! – අනුර කුමාර දිසානායකගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් කියවන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මාර්තු 17 වැනිදා සිදුකළ විශේෂ අදහස් දැක්වීම

තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාරපාන සපයා ගන්න පුළුවන්ද ආදී අවිනිශ්චිතභාවයක් ජනතාව තුළ තියෙනවා. ජනතාවට මෑත කාලයේ කෙටි ඉතිහාසයක අත්දැකීමක් තියෙනවා මෙවැනි ව්‍යසනයන් විසින් ජනතාවට අත් වූ ඛේදනීය ඉරණම. ජනතාවට නොසන්සුන්තාවක් ඇති වීම පිළිගත හැකියි. යුද්ධයේදී ආණ්ඩුවක් හැටියට ස්ථාවරයක් ප්‍රකාශ කරලා තියෙනවා. ස්ථාවරය මධ්‍යස්ථභාවය. අපේ ප්‍රකාශ, අපේ ක්‍රියාමාර්ග, අපි එළඹෙන සම්මුතීන් සියල්ල ගැබ් වෙලා තියෙන්නේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන්න. අපේ මධ්‍යස්ථභාවයේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට භාජනය වී තිබෙනවා. විශ්වාස කිරීමට භාජනය වී තිබෙනවා. කවර අන්තයට තල්ලු වුණත් අපේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න කටයුතු කරන්නේ නෑ. අපේ රටේ ආර්ථිකය හදන්න වුවමනාව තියෙනවා ඕනෑම කම්පනයකදී ඔරොත්තු දෙන ආර්ථිකයක්, සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය විශාල ලෙස අඩාල නොවෙන ආර්ථිකයක් හදන්න ඕනෑ. ආකාර දෙකකින් කැළඹිලි එනවා. එකක් අභ්‍යන්තර කම්පන. කුණාටුව කියන්නේ අභ්‍යන්තර කම්පනයක්. අපි හිතනවා ඒ කම්පනයේදී ආර්ථිකයට ඩොලර් බිලියන 4.1ක පමණ කම්පනයක් වුණා. ජීඩීපී එකෙන් සියයට හතරක කම්පනයක් ඇති වුණා. අපේ ස්ථාවරභාවය, ආර්ථික ශක්තිමත්භාවය හේතු කොටගෙන කම්පනයට මුහුණ දීලා කෙටි කාලයක් තුළ ආර්ථිකයට පණ පොවන්න පුළුවන්කම ලැබුණා. ඒක ජනවාරි මාසයේ, පෙබරවාරි මාසයේ පෙන්නුම් කරනවා ශක්තිමත් කියලා. අපි ඩොලර් මිලියන 700ක් පමණ මහ බැංකුව මිලදී ගත්තා. ඒක මෑත ඉතිහාසයේ වැඩිම මිලදී ගැනීම. සුරාබදු, රේගු, ආදායම් ඉක්මවූවා. අභ්‍යන්තර කම්පනයට ඔරොත්තු දෙන්න පුළුවන්කම ලැබුණා. දැන් අපට මුහුණ දෙන්න වෙන්නේ බාහිර කම්පනයක්.

අර්බුදයේ ප්‍රමුඛතම කේන්ද්‍රය බවට පත්වෙලා තියෙන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය. ඒක යුද්ධයේ උපාය මාර්ගයක්. ඒක තේරුම් ගන්න ඕනෑ. ඒ නිසාම අපි අපේ බලශක්තිය, විශේෂයෙන්ම ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කරනවා. ඉන්ධනවලට අපි හොඳ දිගුකාලීන ටෙන්ඩර් ප්‍රදානය කරලා තිබුණා. නමුත් අපේ දිගුකාලීන ටෙන්ඩර් දෙකක්, බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ටෙන්ඩර් දෙකක් නියමිත කාලයේදී ලබා ගන්න බැරි වෙනවා. ප්‍රමාද වී ලබා දෙන බව කියා තියෙනවා. පෞද්ගලික අංශයේ තෙල් අලෙවි කරන්නන් ඉන්නවා. ඔවුන්ගේ එක් නැවක් නියමිත කාලයට ලැබෙන්නේ නැති බව දැනුම් දීලා තියෙනවා. අපට අවශ්‍ය ඉන්ධන සැපයුමේ අඩුවක් තියෙනවා. මේක ඉතාම හොඳින් අපි සැලසුම් කරලා තියෙනවා. වරායට නැවක් පැමිණීම, ඒ නැව වරායට පොම්ප කිරීම සඳහා තියෙන කාලය, ගබඩාවල තියෙන ප්‍රමාදය, නැවත නැවකට එතැනට ළඟා වීම යනාදී කළමනාකරණ පද්ධතියක් තියෙනවා. එක නැවක හෝ ප්‍රමාදයක් ජාලයම අර්බුදයට පත් කරනවා. සීමිත සම්පත් ප්‍රමාණයකින් තමයි කළමනාකරණය කරන්නේ. ඒ නිසා අපි සැලසුම් කරලා තිබුණු ඉන්ධන අපට ලැබෙන්නේ නැහැ.

2025 වසරේදී අපේ ආර්ථිකයේ සමහර දත්ත තියෙනවා ලංකා ඉතිහාසයේ ඉතාමත් ප්‍රශස්තම දත්ත එම වසරේ තියෙනවා. සමහර දත්ත තියෙනවා දශක ගණනාවකට පසු අත්පත් කරගත්ත දත්ත තියෙනවා. ආර්ථික තලයේදී ඉතාමත් හොඳ ජයග්‍රහණ අපි 2025 වසරේදී අත්පත් කරගත්තා. අභියෝගය තමයි 2025 වසරේදී ලබාගත්ත ආර්ථික ජයග්‍රහණය අඛණ්ඩ ලෙස පවත්වාගෙන යමින් අර්බුදයට මුහුණ දෙන එක. සාමාන්‍ය ජනතාව තමන්ගේ ජීවිතයේ ලයිෆ් ස්ටයිල් එකේ වෙනසක් ඇති කරගෙන තියෙනවා, පෙර තිබුණාටත් වඩා. ඒ ජන ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද? මේක තමයි අර්බුදයේ ගැටලුවලට විසඳුම් සෙවීමේ මාවත. ජයග්‍රහණවල අඛණ්ඩතාව පවත්වාගෙන යෑමත්, ජන ජීවිතය පවත්වාගෙන යෑමත් අපේක්ෂාවෙන් තමයි අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ.

අපි මුලින් ආර්ථික ආවේක්ෂණ කමිටුවක් පිහිටෙව්වා. ඒ කමිටුව කෙටි කාලයක් තුළ රැස් වෙමින් ඇති වෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කළා. ඒ වගේම මහ බැංකුව දවස් දෙකකට සැරයක් අපට ඇති වී තිබෙන නව තත්ත්වයන් සහ ගත යුතු විසඳුම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කළා. ඒ වාර්තා ආර්ථික ආවේක්ෂණ කමිටුව තුළ සාකච්ඡා කරමින් ප්‍රශස්තව කටයුතු කරනවා. සමහර තීන්දු ප්‍රමාද නොවිය යුතුයි. සමහර තීන්දු කල් තබා නොගත යුතුයි. අපි නිශ්චිත කාලයේදී තොරතුරු මත තමයි තීන්දු අරන් තියෙන්නේ.

අපි ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගෙන තිබෙනවා. විශේෂයෙන් බලශක්ති සැපයුම සාර්ථක කර ගැනීමේ මැදිහත්වීම. මේ වෙද්දී අපි මැදිහත්වීම් කිහිපයක් කරගෙන තිබෙනවා. අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් හිතවත් රාජ්‍යයන් එක්ක සමීප සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. ඒවායේ ඉතාමත් හොඳ ප්‍රවණතා තියෙනවා. අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්මා. අද අපි ටෙන්ඩරයක් විවෘත කළා. ඒකෙදී අපි ඩීසල්, ලිහිසි තෙල්, පෙට්‍රල් සඳහා අපට විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩරයට ඇවිල්ලා තියෙනවා. අපි ඔවුන්ට ඒ ටෙන්ඩර් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමාද වෙන කාලය ආවරණය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. ඕනෑම වෙලාවක යම් බලශක්ති නෞකාවක් අතරමැද අනතුරට ලක් වීමේ අනතුරක් තිබෙනවා. ඒ සඳහා අතිරික්ත වශයෙනුත් නැව් ඉන්ධන ප්‍රදානය කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. අපි අද එය සම්පූර්ණ කරනවා. හෙට දිනයේදී තවත් ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. එතැනිනුත් විශ්වාසවන්ත සැපයුම්කරුවන් ලැබෙනවා. යම් මිල වැඩිවීමක් තියෙනවා ටෙන්ඩර් බැලුවාම. කලින් ප්‍රීමියම් අගය ඩොලර් 3ට අඩුවෙන් තිබුණේ. දැන් විශාලයි. නමුත් අපේ අපේක්ෂාව තියෙන්නේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබා දීම. ඒ නිසා අපි ටෙන්ඩර් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ වෙද්දී බ්ලැක්මාකට් එකක් ගොඩනැගෙනවා. එකම නැවට ඒජන්තලා කිහිපයක් ඉන්නවා. ඒකයි තත්ත්වය. අපි පෞද්ගලික අංශයේ නෙවෙයි. රාජ්‍ය අංශයට එවැනි ක්ෂණික මිලදී ගැනීම් කරන්න බැහැ. ඒ නිසා ක්ෂණිකව මිලදී ගන්නවා නම් එහිදී ප්‍රශස්ත තීන්දු ගන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා දැන් ක්ෂණික සැපයුමක් කරනවා නම් එයටත් පත්වීම් කරලා තියෙනවා. අපි ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය අරන් තියෙනවා. ඒ කමිටුව ගන්න තීන්දු කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරනවා. ඒක ක්ෂණිකව තෙල් මිලදී ගැනීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයක්.

පෞද්ගලික අංශයේ අපනයනකරුවන් සහ සංචාරක කර්මාන්තය වැනි ඩොලර්වලින් ව්‍යාපාරවල යෙදෙන, ඩොලර්වලින් ආදායම් උපයන අය අපට කිව්වා ඔවුන්ට බලපත්‍රයක් ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය තෙල් ආනයනය කරන්න අවස්ථාව දෙන්න කියලා. ඔවුන් ඒක කරනවා කිව්වා. ඔවුන් කිව්වා අපනයනකරුවන් 30ක් පමණ ඩොලර්වලින් තෙල් ආනයනය කරනවා. ඩොලර්වලින් තෙල් අලෙවි කරනවා. හෙට උදේ ඉඳන් අපනයනකරුවන්ගේ ක්ෂේත්‍ර සඳහා තෙල් සැපයීමට අවස්ථාව ලැබෙනවා. පෞද්ගලික සමාගම්වලින් එම ඉන්ධන ලබා දෙනවා. බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට එවැනි ක්‍රමවේද ගණනාවක් තිබෙනවා.

ගෑස් ගත්තොත් අපට මේ මාර්තු මාසයේදී ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. නමුත් අපි 38,000ක් ඇණවුම් කළා මාර්තු මාසයට. පෞද්ගලික සමාගමක් ගෑස් සපයන එක අඩපණ කරලා තියෙන නිසා ඊටත් අවශ්‍ය වන ගෑස් රජයේ සමාගම ආනයනය කරනවා. මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තියෙනවා. සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. සමහර ඒවා ගොඩබානවා. අනෙක්වා මාලදිවයිනේ රඳවලා තියෙනවා. තව ගෑස් නැවක් ළඟාවෙමින් තිබෙනවා. හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් මතු වෙන්නේ නෑ. ඊළඟට අපට ගෑස් සපයන්න තියෙන්නේ අප්‍රේල් 21-23 කාලයේදී. ඒ වෙද්දී ගෑස් ලැබෙන බව විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා ගෑස් අර්බුදයක් මතු වෙන්නේ නෑ.

ගල් අඟුරු දැනට නැව් 23ක් ලැබෙනවා. දැනට නැව් 13ක් ලංකාවට ළඟා වෙලා තිබෙනවා. නැව් 12ක් ළඟාවෙමින් තිබෙනවා. පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. අපි ක්ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩරයක් කැඳවනවා. එහි වාර්තා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එය ගැනුම්කරුවකුට ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගේ නැව් 5ක් තියෙන බව. ඒ වගේම ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා රාජ්‍යයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා උපරිම ලෙස අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා.

දැන් තිබෙන බලශක්තිය පරෙස්සම් කර ගැනීම සඳහා අපි QR කේතයක් හඳුන්වා දී තිබෙනවා. එහි යම් ගැටලු තිබෙන බව අපි දන්නවා. මෙතැන ස්වෙච්ඡාවෙන් ඩයලොග් ආයතනයත්, MIT ආයතනයත් සහයෝගය දැක්වුවා. හාන්ස් විජේසූරිය මැතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා එක්ක අපි සාකච්ඡා කළා කරන විදිය. සමහරු කිව්වා දවස් දෙකක් ෂෙඩ් වහලා ක්‍රියාත්මක කරමු කියලා. මීට පෙර ඔවුන් සති දෙකක කාලයක් තිස්සේ කේතය ලබා ගන්න දීලා තමයි එය ක්‍රියාත්මක කරන්න ගත්තේ. ඒත් අපට දුවන ආර්ථිකයේ තමයි මේක නිකුත් කරන්න වුණේ. ඒ නිසා ගැටලු මතුවෙනවා කියන පූර්ව අවබෝධය එක්ක තමයි QR කේතය නිකුත් කළේ. ඒ නිසා තමයි ඉරිදා දිනය ගත්තේ. දැනට මිලියන පහක පමණ ප්‍රමාණයක් QR රෙජිස්ටර් වෙලා තියෙනවා. අනෙක් අයගේ ගැටලු විසඳනවා. මේ පළවැනි වතාවට තමයි QR කේතය ක්‍රියාත්මක වෙන ගමන් කරන්නේ. වෙනදා QR කේතය ඩවුන්ලෝඩ් කරගෙනයි තෙල් දෙන්න තීන්දු කළේ. තෙල් දෙන ගමන් තමයි QR කේතය ක්‍රියාත්මක කරන්න ඕනෑ. රට වහලා සූදානම් වෙලා QR කේතය නිකුත් කරන්න බෑ. ඒ නිසා යම් පද්ධතියේ ගැටලුවක් එන බව දැනගෙනම තමයි. අපට විශේෂඥ ඥානය තියෙන සමාගම් තමයි උදව් කළේ. ලංකාවේ ඉන්න විශේෂඥයන් තමයි නායකත්වය ලබා දුන්නේ. ඒකේ අපේක්ෂාව තමයි තියෙන තෙල් ප්‍රමාණයත් යම් ප්‍රමාණයකට සමනය කර ගැනීමේ අපේක්ෂාව තිබෙනවා. දිගටම මේ ප්‍රමාණයේම ඉන්නවාද කියලා තීන්දු කරලා නෑ. ඒත් අපි සැපයුම අනුව තීන්දු කරනවා.

නමුත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට QR හරහා බාධාවක් ඇති විය හැකියි. අපේ අපේක්ෂාව කිසිදු බාධාවක් ඒ ක්ෂේත්‍රවලට ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්න. එකක් සෞඛ්‍යය, විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව අනුව දැනට තෙල් ප්‍රමාණය අවසන් වෙන දිනයක් තියෙනවා නම් ඒ දිනයේ සිට තවත් සති හයකට අපි ආරක්ෂිතව ගබඩා කරනවා. අපි සෞඛ්‍ය සඳහා මාස දෙකහමාරකට තියාගන්නවා. ඒ සඳහා වරාය, ගුවන් තොටුපළ වගේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට අත්‍යවශ්‍ය තොග තියාගන්නවා. ඊට අමතරව කර්මාන්ත, කෘෂිකර්මය, ධීවර සහ කුඩා කර්මාන්තවල යෙදෙන අයගේ ජීවිකාව ප්‍රවාහනය සහ ඉන්ධන එක්ක සම්බන්ධයි. අපි සියලු අමාත්‍යාංශ කැඳෙව්වා. ඒ අයට ඉන්ධන ලබා දීම සඳහා කටයුතු කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය දැනටමත් වැඩපිළිවෙළක් සකසනවා. දැන් අස්වනු නෙළන කාලය. ඒ වගේම ඉක්මනින් ඊළඟ කන්නයේ වගා ආරම්භ කරනවා. කිසිසේත්ම මේ QR කේතය අස්වනු නෙළන එකට ප්‍රමාණවත් නෑ. ඒ නිසා ඒක වැඩි කිරීමට තීන්දු කළා. ධීවර කර්මාන්තය ගත්තොත් අපට හරි පහසුයි විශාල බෝට්ටු ධීවර වරායවල්වලින් යන්නේ. බහුදින යාත්‍රාවලින් නම් ගිය දුර ප්‍රමාණය නිරීක්ෂණය කරන්න පුළුවන්. කුඩා බෝට්ටු 30,000ක් පමණ එළියේ තිබෙනවා. එම බෝට්ටුවලටත් ඉන්ධන සපයන්න කටයුතු කරනවා. ඒක ලීක් එකක් වෙන්න පුළුවන්. මුහුදු යයිද, නොයයිද වෙනම දෙයක්. එහෙත් ඔවුන්ට තෙල් ලබා දිය යුතුයි. දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒක දරාගන්න වෙනවා. ඒ වගේම තේ වතු ආශ්‍රිත කර්මාන්තවලට තේ දළු ගෙනයෑම වගේ දේවල් ගැන කටයුතු කර තිබෙනවා. ඉන්ධන අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට QR ප්‍රමාණවත් නැත්නම් එය ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා. අපි ගණනය කරලා තියෙන්නේ ඒ සේවාවන්ට ලබා දීමටත් එක්කයි.

ආහාර සැපයුම් ජාල අපි අධ්‍යයනය කරමින් තිබෙනවා. උත්සව සමය එන්නේ. අපට කරුණු දෙකක් තිබෙනවා. එකක් ආනයනකරුවන් විසින් තොග රැස් කරන්න ඕනෑ. සමහර භාණ්ඩ සති දෙකකට තොග රැස් කරනවා. සමහර ඒවා මාස තුනක්. අපි දීර්ඝ කාලයක් තොග රැස් කරගන්න පුළුවන් අය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් කියා තිබෙනවා මාස තුනකට ප්‍රමාණවත් ගබඩා තිබෙන බව. සති දෙකේ ආනයනය කරන අය ගබඩා කරන්නේ සති දෙකයි නම්, ඔවුන් ආනයනය කරන්නේ කොහෙන්ද, කුමක්ද කියලා බලනවා. අපි සතොස හරහා පහසුකම් සපයනවා. අත්‍යවශ්‍ය ආහාර හිඟ ඇති නොවීමට වගබලා ගන්නවා. ඒ වගේම ආහාර බෙදාහරින සමාගම් එක්ක වෙළෙඳ අමාත්‍යාංශය සාකච්ඡා කරමින් තිබෙනවා ඉන්ධන ලබා දීමට. ඒ වගේම නුවරඑළියේ එළවළු බෙදාහැරීම ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා ආහාර සැපයුම් දාමය බිඳ නොවැටී ජනතාවට අවශ්‍ය වෙන ආහාර ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා.

රාජ්‍ය සේවය තුළ හැම අමාත්‍යාංශයටම ඉලක්කය දීලා තියෙනවා හැම අමාත්‍යාංශයම තෙල් පරිභෝජනය සියයට 25කින් අඩු කරන්න කියලා. මේ වෙද්දීත් සෞඛ්‍ය අමාත්‍යාංශය සැලැස්මක් සකස් කරලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ එක් දිනයක් නිවාඩු අරන් තියෙනවා. රාජ්‍ය සේවය ඔන්ලයින් ක්‍රියාත්මක වෙන අංශ අඩුයි. අපි මේ වෙද්දී ඒ ආයතන ප්‍රධානීන්ට බලය දීලා තියෙනවා එවැනි අංශවලට ගෙදර ඉඳන් වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒත් රාජ්‍ය සේවයේ සේවාවන් ලබා ගැනීමට ආයතනවලට එනවා. ඒ ආයතන ක්‍රියාත්මක කරනවා. බදාදා දිනයේ නිවාඩු දෙනවා. බදාදා නිවාඩු දීම ගැන සාකච්ඡා වෙලා තියෙන බව අපි දන්නවා. අපට ඕනෑ අඛණ්ඩතාව තබා ගන්න. දවස් තුනක් එකදිගට නිවාඩු දුන්නොත් ඒ කාලය දිගු වැඩියි. ඒ කාලය විසින් යම් රාජ්‍ය සේවයේ සේවාවන්හි බිඳවැටීම්වලට ලක් විය හැකියි. අපි දවස් දෙකක් වැඩ කරනවා. දවස් දෙකක් නිවාඩු තියෙනවා. නැවත දවස් දෙකක් වැඩ කරනවා. දවසක් නිවාඩු තියෙනවා. අපි රාජ්‍ය සේවය පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා.

ඊළඟට විශේෂයෙන්ම දිගු කාලයක් ඇදුණොත් මේ ආශ්‍රිත ආර්ථිකයේ යෙදෙන අය යම් ආර්ථික බිඳවැටීමකට භාජනය වෙනවා. සමහර අයගේ ඉන්ෂුවරන්ස්, ණය වාරික සහ ජීවත්වීම පිළිබඳ අර්බුදයක් එන්න පුළුවන්. අපි ඒ පිළිබඳ විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. උපාලි පන්නිල ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ආර්ථිකයේ බලපෑම්වලට ලක් වෙන අයට සහනාධාර ලබා දිය යුතුයි. පොලී රහිත ණය ලබා දිය යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකසා කරනවා.

මහජනතාව මේ වැඩපිළිවෙල එක්ක අනුගත වෙන්න ඕනෑකම තියෙනවා. රජයේ අංශයකින් විතරක් කළ නොහැකියි. ඒ නිසා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කිසිකෙනෙක් බියට පත් විය යුතු නැහැ. කලබල විය යුතු නැහැ. අපට මේ කාර්යය කළ හැකියි. මේ අභියෝගය ජයග්‍රහණය කළ හැකියි. ඒ සදහා අවශ්‍ය වන ශක්තිමත් වැඩසටහනක අපි ඉන්නවා. ඒ වැඩසටහන නැවත නැවත විපරමට භාජනය කරනවා. වෙනස් විය යුතු තැන් වෙනස් කරනවා. මමත්, නිලධාරීනුත් ඒ සදහා වෙහෙසෙනවා.

Author

1 Comment

  • මේ කෙබර කෙලින ජවිපනු thrස්ථපරයා ගල් අඟුරුත් ඒ මැදට දාලා තු නොදකින් කාලකන්නි පරයා

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading