ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වූ නිව්යෝර්ක් නගර ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජාතික හා අප්‍රිකාවේ උපත ලද නගරාධිපතිවරයා වන 34 හැවිරිදි රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු වූ සොහ්රාන් මම්දානි අද (1) සිය ධුරයේ දිවුරුම්දෙනු ලැබුවා.
හිටපු ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ දැවැන්ත පරතරයක් සහිතව පරාජය කරමින් නගරාධිපතිධුරය සඳහා තේරී පත් වූ මම්දානි කුරානය මත අතතබා එම ධුරයෙහි දිවුරුම් දුන් අතර, එලෙස දිවුරුම් දුන් පළමු නිව්යෝක් නගරාධිපතිවරයා ඔහු බවයි සඳහන් වන්නේ.
අද සිට සිට වසර 4ක කාලයක් සඳහා නිව්යෝක් නගරාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන මම්දානිගේ මෙම දිවුරුම් දීම සමඟ නිව්යෝර්ක් පාරම්පරික දේශපාලනයේ සහ ඇමෙරිකානු දේශපාලන දෘෂ්ටිවාදයන්හි පැහැදිලි වෙනසක් සනිටුහන් කරනු ඇති බවත්, නිව්යෝර්ක් නගර පාලනයේ දිගු කාලීන ආධිපත්‍යය නතු කරගත් පාරම්පරික දේශපාලනය හා ධනපතියන් මුල් කරගත් දේශපාලන සංස්ථාව අර්බුදයට ගමන් කිරීම අතිශය වැදගත් කේන්ද්‍රීය දේශපාලන මොහොතක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනු ලබනවා.
කෙසේ නමුත්, ඔහුගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබූ අතර, ඒ අනුව නොමිලේ පොදු ප්‍රවාහනය, නොමිලේ ළමා රැකවරණය සහ නගරය විසින් මෙහෙයවන හා අයිතිකාරීත්වය දරන සිල්ලර බඩු වෙළඳසැල් නිර්මාණය හා පවත්වාගැනීම ආදී මැතිවරණ පොරොන්දු ඔහුගේ මැතිවරණ පොරොන්දු ලැයිස්තුව තුළ දක්නට හැකි වුණා.
චිත්‍රපට නිෂ්පාදක මීරා නායර් සහ ශාස්ත්‍රාලිකයෙකු වන මහමුද් මම්දානිට දාව උගන්ඩාවේ උපත ලැබූ නිව්යෝර්ක් නගරාධිපතිවරයා වයස අවුරුදු හතේදී නිව්යෝර්ක් නගරය වෙත සංක්‍රමණය වී ඇති අතර, 2020 දී නිව්යෝර්ක් ප්‍රාන්ත සභාවට ප්‍රථම වරට තේරී පත් වූ ඔහු, නිවාස, කම්කරු අයිතිවාසිකම් සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් නිර්භීත ප්‍රගතිශීලී හඬක් නගන්නෙකු ලෙස ද ප්‍රසිද්ධියට හා කීර්තියට පත්ව සිටියා.
තමන් සමාජවාදී බව හා පලස්තීනයේ ආධාරකරුවෙක් බව නගරාධිපති මැතිවරණයට පෙර ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළ මම්දානි මාධ්‍යවේදී මෙහ්ඩි හසන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවසා සිටියේ, ඊශ්‍රායලයට පසුව වැඩිම ඊශ්‍රායල වැසියන් වෙසෙන නිව්යෝර්ක් නගරයට පැමිණියහොත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවත්, තමා ජාත්‍යන්තර නීතියට ගරු කරන බවත් ය.
මැතිවරණය හමුවේ ට්‍රම්ප්ගේ සිහිනමය දේශපාලනයට මරු පහරක් එල්ල කළ මම්දානිව “කොමියුනිස්ට්වාදියෙකු” ලෙස හෙළා දකිමින් ඔහු ජයග්‍රහණය කළහොත් නගරය සඳහා පිරිනමනු ලබන ෆෙඩරල් අරමුදල් ද අත්හිටුවන බවට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ තර්ජනය කළ අවකාශයකයි ඔහු නගාරාධිපතිවරයා ලෙස තේරී පත්වනු ලැබුවේ.
රිපබ්ලිකන්වරු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය හරහා ඩිමොක්‍රටික් පක්ෂය “සමාජවාදයට දණහිස නවන” පක්ෂයක් බව හඬගා කියද්දීත්, “නිව්යෝර්ක් නගරය අන්ත වාමාංශික පාලනයක පෙර නිමිති පෙන්වන බව” නැවත නැවතත් පුන පුනා සඳහන් කරද්දීත්, ඔහුගේ ම පක්ෂය වූ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් මම්දානි වටා එකතු වීම අවසාන මොහොත දක්වා කල් දමද්දීත්, ඒ සියල්ල මධ්‍යයේ ධනපතීන් වැඩිම පිරිසකගේ නිජබිම වන දක්ෂිණාංශික බල මූලයේ නගරාධිපතිවරයා ලෙස මම්දානි අද මෙසේ නිව්යෝක් නගරාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
