මනුෂ නානායකකාර මහතා අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළට යාම පළිගැනීමක් නොවන බවත්, එය නීත්‍යානුකූල හේතු මත පදනම් වූ ක්‍රියාවක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
මනූෂ නානායකකාරව අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළට යෑම පළිගැනීමක්දැයි අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු මේ බව ප්‍රකාශ කළා.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙන්නේ, මෙම විමර්ශනය දිගු කාලයක් තිස්සේ සිදු කළ එකක් බවත්, පැමිණිල්ල ලැබුණු සැණින් ගුවන් තොටුපළට ගොස් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකළ බවයි.
“මේ කොමිසමේ විමර්ශනයන් පැවැත්වීමට අධ්‍යක්ෂ ජෙනරාල්ට නියම කළාම මෙහෙයවීමයි මා කරන්නේ. ඔබ දැකලා තියෙනවාද මා එන්න කලින් දූෂණය කියන වරදට කෙනෙක් අත්අඩංගුවට ගන්නවා? දෙසීයක අල්ලසට අත්අඩංගුවට ගන්නවා. හැබැයි දූෂණය කියන වරද සම්බන්ධයෙන් විශාල වැරදි කරපු අය අත්අඩංගුවට ගත්තේ නෑ,” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.
පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ ඇයිද යන්න පිළිබඳව පැහැදිලි නිර්ණායකයක් කොමිසම සතුව ඇති බව රංග දිසානායක මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දූෂණය වැනි සංඥ වරදක් සම්බන්ධයෙන් වුවද, විමර්ශනයන්ට බාධා නොකරන ඇතැම් විපක්ෂයේ පුද්ගලයන් අත්අඩංගුවට නොගෙන විමර්ශන අවසන් කර කෙළින්ම නඩු පැවරූ අවස්ථා තිබෙන බවයි.
මනූෂ නානායකකාර මහතා අත්අඩංගුවට ගැනීමට හේතුවූ විශේෂිත හේතුවක් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී තහවුරු කළා.
එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ,සිද්ධියට සම්බන්ධ සමහර නිලධාරීන් ලේකම්වරු එක් ප්‍රකාශයක් පවසන අතර, අමාත්‍යවරයා තවත් ප්‍රකාශයක් පවසන බැවින් කිසිවෙකු වගකීම නොගන්නා තත්ත්වයක් පවතින බවයි.
ඔහුව අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීම තුළින් සාක්ෂි සොයාගැනීමට හේතුවක් තිබෙන බව රංග දිසානායක මහතා එහිදී පවසා සිටියා.
කෙසේ වෙතත්, කොමිසමට නියමිතව තිබුණේ නානායකකාර මහතාට ප්‍රකාශයක් ලබා දීමට අවස්ථාවක් ලබා දීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.
