සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙන්න සූදානම්ලු

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම්දී තිබෙනවා.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළා.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණා.

Author

1 Comment

  • රිට් පෙත්සමෙන් ඉල්ලපු එකට මොකද දන්නෙ නෑ නේද උනේ? පස්සෙ කියන්නම් කියල දින නියම කරලද?

Comments are closed.

Related Posts