පසුගිය වසරේ (2024) පළමු භාගයට සාපේක්ෂව මෙම වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 11.4% කින් ඉහළ යාමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
2025 වර්ෂයේ පළමු අර්ධය සඳහා වන කොළඹ දිස්ත්‍රික්කය සඳහා වන ඉඩම් තක්සේරු දර්ශකය නිල වශයෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියා.
ඒ අනුව එම මාධ්‍ය නිවේදනයට අනුව 2024 වර්ෂයේ පළමු අර්ධයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ නේවාසික, වාණිජ සහ කාර්මික අනු දර්ශක මෙන්ම සමස්ත ඉඩම්වල තක්සේරු දර්ශකය ද ඉහළ ගොස් ඇති බවයි දැක ගත හැකි වූූයේ.
වසර 2024 පළමු භාගයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු අර්ධයේ දී අනු දර්ශක වන නේවාසික ඉඩම් දර්ශකය 14.4% කින් ද, වාණිජ ඉඩම් දර්ශකය 11.5% කින් මෙන්ම කාර්මික ඉඩම් දර්ශකය 8.4% කින් දර්ශක වැඩිවීමක් දක්වා සිටිනවා.
තව ද මහ බැංකුව දක්වන්නේ, 2024 දෙවන අර්ධයේ දී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව ද 2025 පළමු අර්ධයේ ඉඩම්වල තක්සේරු වටිනාකම් ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් ආවරණය වන පරිදි 1998 සිට වසර 2008 දක්වා වාර්ෂිකව හා 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකව මෙම ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලැබූ අතර, පසුව 2017 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ආවරණය වන පරිදි අර්ධ වාර්ෂිකව මෙම ඉඩම් මිල දර්ශකය “ඉඩම් තක්සේරු දර්ශකය” යන නමින් සම්පාදනය කරනු ලබන බවයි මහ බැංකුව දක්වා සිටින්නේ.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කර ගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් භාවිතා කරමින් හා ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පවත්නා විවිධත්වය සහ සමජාතීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම ඒ ඒ ප්‍රදේශයේ එක් එක් කාණ්ඩයට අයත් ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගී කර ගනිමින් නේවාසික, වාණිජ හා කාර්මික ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලබන අතර, එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් තක්සේරු දර්ශකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙසේ ගණනය කරනු ලබනවා.
.
